10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ 2 වැනි තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා.
Southampton හී The Rose Bowl ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ නිමා වූ ආසන්නත ම ලෝක කුසලානයේ ශූරියන් බවට පත් නවසීලන්තයයි.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමිනුයි. ඒ අනුව පෙර තරගය හා එක් වූ ඉමේෂා දුලානි, හංසිමා කරුණාරත්න සහ මල්කි මදාරා වෙනුවට හසිනි පෙරේරා, කාව්‍යා කාවින්දි සහ නිමාෂා මීපගේ එක් කර තිබුණා.
නවසීලන්ත කණ්ඩායම සුපුරුදු කණ්ඩායම ම තරගයට කැඳවා තිබුණා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, කාව්‍යා කාවින්දි, මිතාලි අයෝද්‍යා සහ නිමාෂා මීපගේ.
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Melie Kerr (නායිකාව), Isabella Gaze (කඩුල රකින්නිය), Georgia Plimmer, Sophie Devine, Brooke Halliday, Maddy Green, Izzy Sharp, Jess Kerr, Nensi Patel, Rosemary Mair, Bree Illing..
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායිකාවගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගැනීමයි. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 150ක් ලබා ගන්නවා එම ඉනිමේ වැඩිම ලකුණුලාභීන් බවට පත් වෙන්නේ නායිකා Melie Kerr සහ Sophie Devine ලකුණු 45ක් බැගින් දවා ගන්නවා. Melie Kerr පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ද සහ Sophie Devine පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනාට අමතර ව Georgia Plimmer පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගත් අතර නවසීලන්ත ඉනිම අවසන් වෙද්දී Maddy Green පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 35කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමරි අතපත්තු, මිතාලි අයෝද්‍යා, නිමාෂා මීපගේ සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගන්නවා.
- ශ්‍රී ලංකාවට හමුවෙන 2024 ලෝක ශූරියෝ
- ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයෙන් ඉන්දියාව පරාජය කරයි
- Deepti Sharma ඉන්දීය T20 ඉතිහාසය අලුත් කරයි
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
සුපුරුදු ලෙසින් පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 45ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ චමරි අතපත්තු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යද්දී පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.
ඉන් අනතුරු ව යැවුණ 6 වැනි පන්දුවේ දී විශ්මි ගුණරත්න ද දැවී ගිය අතර ඒ වෙද්දී ඇය පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා.
ඔවුන්ගේ දැවී යෑම්වලින් අනතුරු ව හසිනි පෙරේරා (2) සහ හර්ෂිතා සමරවික්‍රම (5) අඩු ලකුණුවලට දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 55ක් ලෙසින් දැක් වුණා.
එම අවස්ථාවේ දි පිටියේ සක්‍රීය වූ කවීෂා දිල්හාරි සහ නිලක්ෂිකා සිල්වා 5 වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ කවීෂා දිල්හාරි ලකුණු 17කට දැවී යෑමත් සමඟිනුයි. ඇය එම ඉනිමට පන්දු 16ක් වැය කර තිබූ අතර ඊට හතරේ පහර 2ක් ඇතුලත් වුණා.
කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී නිලක්ෂිකා සිල්වා පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගන්නවා. එය ඇයගේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ මංගල අර්ධ ශතකයයි.
ඊට අමතර ව කෞෂිනී නුත්‍යාංගනා පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 24ක් ද ලබා සිටියා.
ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 48ක සබඳතාවක් ගොඩ නගනවා.
කඩුලු දවා ගැනීමේ දී Nensi Patel ලකුණු 23කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Bree Illing ද කඩුල්ලක් හිමි කර ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 150 (20.0)Melie Kerr 45, Sophie Devine 45, Maddy Green නොදැවී 18, කවීෂා දිල්හාරි 2/35
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 153 (19.4)චමරි අතපත්තු 27, නිලක්ෂිකා සිල්වා නොදැවී 54, කෞෂිනි නුත්‍යාංගනා නොදැවී 24, Nensi Patel 2/23
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – නිලක්ෂිකා සිල්වා (ශ්‍රී ලංකාව)
ශ්‍රී ලංකාව සහභාගී වෙන 3 වැනි තරගය මේ මස 21 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින් Britol හි දී පැවැත්වීමට නියමිතයි.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















