නව වෙනස්කම් සමඟ ශ්‍රී ලංකාව කොදෙව්වන්ට එරෙහිව පළමු ජය ලබයි

Sri Lanka Tour Of West Indies 2026

3
Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් දේශයේ තරග සංචාරය ඊයේ (03) දිනයෙන් ආරම්භ වුනා.

දෙරට අතර එක්දින තරගාවලියේ පළමු තරගය ඊයේ ජැමෙයිකාවේ Kingston හිදී පැවැත්වුණු අතර, තරගයේ කාසියේ වාසිය ජය ගත් කොදෙව් නායක Shai Hope විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා වෙනස් ආරම්භක පිතිකරු යුගලයක් ලෙස පැතුම් නිස්සංක සමඟින් උප නායක කමිඳු මෙන්ඩිස් පිටියට අවතීර්ණ වුනා. කෙසේ වෙතත් තරගයේ මුල් පන්දු වාරවල පිතිකරණයේ යෙදීම තරමක් අභියෝගාත්මක ස්වරූපයක් දැරූ අතර, පැතුම් සහ කමිඳු තරමක් සෙමින් ලකුණු එක් කිරීම ආරම්භ කළා.

මෙහි දී කමිඳුගේ ඉනිම ලකුණු 13කට සීමා වූ අතර, ඉන් අනතුරුව නව ශ්‍රී ලංකා නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පැතුම් සමඟ පිටියේ එක් වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 136ක ඉතා වටිනා සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 127ක් පමණයි. මෙහි දී කුසල් මෙන්ඩිස් විසින් පන්දු 62ක් පමණක් වැය කරමින් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුනේ හයේ සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමිනුයි.

මෙම පිතිකරණය නිසා ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය ද ඉහළ ගිය අතර, කුසල්ගේ දැවී යාමෙන් මොහොතකට පසුව එතෙක් වේලා තවත් සාර්ථක ඉනිමක් දියත් කරමින් සිටි පැතුම් නිස්සංක ද ලකුණු 79කට පිටියෙන් ඉවත් වුනා. පන්දු 103ක් තුළ වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා.

ඉන් අනතුරුව පවන් රත්නායක සහ චරිත් අසලංක පිටියේ එක් වූ අතර, මෙහි දී පවන්ගේ පිත්තෙන් ලකුණු 24ක් වාර්තා වුනා. පවන් පිටියෙන් ඉවත් වීමෙන් පසුව ජනිත් ලියනගේ චරිත් සමඟ එක් වෙමින් ඉනිමේ 05 වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 64ක් එකතු කිරීමට සමත් වුනා. ඔවුන් මේ සඳහා වැය කළේ පන්දු 48ක් පමණයි. මෙහි දී චරිත් විසින් පන්දු 44කින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිම නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජනිත් ලියනගේ පන්දු 29ක් පමණක් වැය කරමින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව ශ්‍රී ලංකාව විසින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 303ක් වාර්තා කිරීමට සමත් වූ අතර, කොදෙව්වන් වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Jayden Seales, Matthew Forde සහ Roston Chase කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඉන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ආරම්භ කිරීම සඳහා Jhon Campbell සහ Justin Greaves පිටියට අවතීර්ණ වූ අතර, ඔවුන් දෙදෙනා විසින් තරමක් වේගවත් ආරම්භයක් ද සමඟ පන්දුවාර 06කින් ලකුණු 50 සීමාව ද තරණය කිරීමට සමත් වුනා.

මේ මොහොතේ ජනිත් ලියනගේ විසින් Campbell දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට සමත් වීම, තරගයේ ස්වභාවය වෙනස් කිරීමට හේතුවක් ලෙස සටහන් කළ හැකි. ඉන් අනතුරුව මහීෂ් තීක්ෂණ විසින් Greaves දවා ගැනීමට සමත් වුනා.

ඉන් අනතුරුවත් කොදෙව්වන් විසින් සිය වේගවත් පිතිකරණය දියත් කිරීමට උත්සාහ කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 20ක් තුළ ලකුණු 120 සීමාවට පැමිණෙමින් ශ්‍රී ලංකාවෙන් ලද ඉලක්කය හඹා යාමට අවශ්‍ය දළ ලකුණු වේගය තවදුරටත් පවත්වා ගෙන යාමට සමත් වුනා.

කෙසේ වෙතත් කොදෙව් පිතිකරුවන්ට දීර්ඝ පිතිකරණ සබඳතා පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ.

කොදෙව් ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතකය නායක Shai Hope සතු වූ අතර, ඊට අමතරව Greavesගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 45 සහ Roston Chaseගේ පිත්තෙන් වාර්තා වූ ලකුණු 33 ඉනිමේ ඉහළම ලකුණු ලෙස සටහන් වුනා.

මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 49 පන්දු 2ක් තුළ සිය ඉනිම ලකුණු 262කින් නිමා කළ අතර, මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දුශ්මන්ත චමීර ලකුණු 67කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම මහීෂ් තීක්ෂණ විසින් සිය පන්දුවාර 10 තුළ ලකුණු 26ක් පමණක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය කුසල් මෙන්ඩිස් සතු වුනා.

මේ අනුව දෙරට අතර එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී සිටිනවා. තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන ඉරිදා (07) පැවැත්වීමට නියමිතයි.

එම තරගය මෙන්ම සම්පූර්ණ තරගාවලිය පිළිබඳව ද සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<