22 වැනි වයස අවුරුදු 20න් පහළ මලල ආසියානු මලල ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනයට අදාළ තරග ඉසව් ඊයේ (30) දිනයේ දී ක්‍රියාත්මක වුනා.
මෙතෙක් තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සම්පූර්ණ කළ සාර්ථකම දිනය ලෙස ඊයේ දිනය සටහන් වූ බව සැකයකින් තොරව පැවසිය හැකි.
ඊයේ දිනය ආරම්භයේ දීම පිරිමි මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයේ තරග ක්‍රියාත්මක වුනා. එහි පළමු තරගයට සහභාගී වූ ඔමෙල් ශෂින්ත විසින් තත්පර 21.41ක තරග නිමි කාලයක් ද සමඟ තෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වූ අතර, දෙවැනි තරගයේ දී සදෙව් රාජකරුණා විසින් තත්පර 21.15ක තරග නිමි කාලයක් සමඟ තෙවැනි ස්ථානයට පත් වුනා. ඔවුන් දෙදෙනා ම මෙම ඉසව්වේ අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
ඊයේ සවස් වරුවේ දී එම ඉසව්වේ අවසන් තරගය ක්‍රියාත්මක වූ අතර, එහි දී සදෙව් රාජකරුණා විසින් තත්පර 21.13ක තරග නිමි කාලයක් සමඟ තෙවැනි ස්ථානයට පැමිණෙමින් ලෝකඩ පදක්කම ජය ගැනීමට සමත් වුනා. එමෙන්ම ඔමෙල් විසින් මෙහි දී තත්පර 21.21ක තරග නිමි කාලයක් වාර්තා කළ අතර, ඔහුට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට සිදු වුනා.
මේ අතර කාන්තා මීටර් 200 ඉසව්වට සහභාගී වූ රන්සිනී පෙරේරා විසින් තත්පර 24.07ක තරග නිමි කාලයක් වාර්තා කරමින්, චීන ක්‍රීඩිකා Zhenglin Zhouට වඩා තත්පර 0.006 පෙරමුණේ රැඳෙමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා.
මෙය ශ්‍රී ලංකාව විසින් මෙම තරගාවලියේ ලද දෙවැනි රන් පදක්කම ලෙසයි සටහන් වුනේ. මේ අතර එම ඉසව්ව නියෝජනය කළ රිසන්සා හිරුපමා තත්පර 24.15ක කාලයක් සමඟ සිව් වැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් මහා තරගය ද ඊයේ පැවැත්වුණු අතර, එහි දී තරුෂ දිනුශාන් විසින් මීටර් 2.14ක උසක් තරණය කරමින් ඉසව්වේ රිදී පදක්කම ජය ගැනීමට සමත් වුනා.
එමෙන්ම මෙම ඉසව්ව නියෝජනය කළ නේත්‍ර චන්දූප හට ඉසව්වේ 14 වැනි ස්ථානය හිමි වුනා.
පිරිමි දුර පැනීම ඉසව්ව ද ඊයේ ක්‍රියාත්මක වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාව නියෝජනය කළ දීසර හේරත් විසින් මීටර් 7.44ක දුරක් පැනීමට සමත් වූ අතර, ඔහුට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට සිදු වුනා. කෙසේ වෙතත් සමස්ත තරගය පුරාවටම දීසර විසින් පදක්කමක් ලබා ගැනීමට ඉතා ආසන්න තත්වයකයි රැඳී සිටියේ.
මේ අතර ශවිඳු නිමාශ විසින් ඊයේ පිරිමි මීටර් 400 කඩුලු පැනීම අවසන් තරගයට සහභාගී වුනා. එහි දී ඔහු විසින් තත්පර 51.72ක පෞද්ගලික හොඳම දක්ෂතාවක් ද සටහන් කරමින් ඉසව්වේ 06 වැනි ස්ථානයට පත් වීමට සමත් වුනා.
පිරිමි මීටර් 1500 ඉසව්වේ අවසන් තරගයත් ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ අතර, මෙහි දී නෙත්සර ලියනගේ තරගයට සහභාගී වුනා. කෙසේ වෙතත් ඔහුට ඊයේ දිනයේ දී තරග සම්පූර්ණයෙන්ම නිමා කිරීමට නොහැකි වුනා.
මේ අතර ඊයේ දිනය සඳහා ක්‍රියාත්මක වූ අවසන් ක්‍රීඩා ඉසව්ව ලෙස මිශ්‍ර මීටර් 400 ඉසව්ව පැවැත්වුණු අතර, මෙහි දී ශ්‍රී ලංකාව මිනිත්තු 3.28.66ක තරග නිමි කාලයක් සටහන් කළා. කෙසේ වෙතත් ඔවුන්ට හිමි වුනේ සිව්වැනි ස්ථානයයි. නමුත් ඉසව්වේ දෙවැනි ස්ථානය ලද ඉන්දියාව ධාවන නීති උල්ලංඝනය කිරීම නිසා තරගයෙන් ඉවත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට හැකියාව ලැබුණා.
මෙහි දී සදෙව් රාජකරුණා, ඔමෙල් ශෂින්ත, වර්ශා දෙව්මිණී සහ රොනාලි පිරීස් යන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව නියෝජනය කළා.
ඒ අනුව ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාව එක් රන් පදක්කමක්, එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ජය ගැනීමට සමත් වුනා.
මේ අතර තරගාවලියේ අවසන් දිනය අද (31) ක්‍රියාත්මක වීමට නියමිතයි. අද දිනයේ ද ශ්‍රී ලංකාවට තවත් පදක්කම් කිහිපයක් සඳහා බලාපොරොත්තු තබා ගත හැකි අතර, එම තරග සියල්ල පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>





















