Peshawar Zalmi 2026 PSL ශූරතාව දිනයි!

PSL 2026

11
Cricket

2026 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ජය ගැනීමට Peshawar Zalmi කණ්ඩායම ඊයේ (03) රාත්‍රියේ දී සමත් වුනා.

ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් නියෝජනය කළ මෙම කණ්ඩායම PSL ශූරතාව ජය ගැනීමට සමත් වුනේ වසර 09කට පසුව වීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ පැවැත්වුණු අවසන් මහා තරගයේ දී Peshawar Zalmi සහ Hyderabad Kingsmen කණ්ඩායම් තරග බිමට පිවිසුණු අතර, එහි දී තරගයේ පළමුව පන්දුවට පහර දුන් Kingsmen ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 129ක් පමණයි. මෙහි දී Peshawar Zalmi වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Aaron Hardie විසින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

මේ අතර kingsmen නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා ඊයේ දිනයේ දී ලබා ගැනීමට සමත් වුනේ එක් ලකුණක් පමණයි.

මේ අතර Peshawar Zalmi කණ්ඩායම මෙම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි අතර, තරගාවලිය පුරා කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් සිය උපරිම දායකත්වය ලබා දුන් නායක Babar Azam ඊයේ දිනයේ ලකුණු නොලබා දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ද ලකුණු 09කට සීමා වුනා.

කෙසේ වෙතත් නැවතත් පිත්තෙන් ද සිය උපරිමය කණ්ඩායම වෙනුවෙන් ලබා දුන් Aaron Hardie නොදැවී ලකුණු 56ක් ලබමින් Peshawar Zalmi කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

මෙය Babar Azam විසින් නායකත්වය ලබා දෙමින් ලද පළමු PSL කුසලානය ලෙස ද වාර්තා අතරට එක් වුනා.

අවසන් තරගයේ වීරයා සම්මානය Aaron Hardie විසින් ඩැහැ ගනිද්දී, තරගාවලියේ වීරයා ලෙස Peshawar Zalmi කණ්ඩායමේ Sufyan Moqim සම්මාන දිනා ගත්තේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 22ක් ද දවා ගනිමිනුයි.

මේ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට Babar Azam විසින් සමත් වුනේ ලකුණු 588ක් ලබා ගනිමිනුයි. ඔහු පාකිස්තාන සුපර් ලීග් ඉතිහාසයේ තරගාවලියක සම වැඩිම ලකුණු ලාභියා ලෙස ද ඉතිහාසයට එක් වුනා.

මේ අතර තරගාවලියේ හොඳම කඩුලු රකින්නා ලෙස සම්මාන දිනා ගැනීමට කුසල් මෙන්ඩිස් විසින් සමත් වූ අතර, ඊට අමතරව ඔහු පිත්තෙන් ද සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වුනා.

තරග 11ක් තුළ ඉනිම් 11ක් ක්‍රීඩා කළ මෙන්ඩිස් විසින් ලකුණු 550ක් රැස් කිරීමට සමත් වුනේ ලකුණු 55ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟයි. එමෙන්ම ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 168.19ක් වැනි ඉහළ අගයක ද රැඳී තිබීම විශේෂත්වයක්.

මේ අතර PSL ඉතිහාසය තුළ විදෙස් පිතිකරුවකු විසින් තරගාවලියක වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය ද මෙන්ඩිස් සතු වනවා.

අවසන් තරගයට පෙර මෙවර PSL තරගාවලිය තුළ ඒ දක්වා ඔහුගේ පිතිකරණ දක්ෂතා පිළිබඳ සැකසූ ලිපිය මෙතැනින් කියවන්න.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<