Neymar නොමැතිව බ්‍රසීලය ලෝක කුසලානයට යයි ද?

FIFA 2026

8

2026 FIFA ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඉතිරි වී ඇත්තේ තවත් දින සියයකටත් වඩා අඩු කාලයක් පමණයි. 

මේ වන විට ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් සියලු කණ්ඩායම් තම හොඳම සංචිත නම් කිරීම සඳහා සූදානමින් පසු වන අතර, මෙහි දී සෑම රටක් ම සිය තරු ගුණයෙන් වැජඹෙන ක්‍රීඩකයින් වෙනුවෙන් විශේෂ අවධානයක් ද යොමු කරන බව නොරහසක්. 

මෙහි දී බ්‍රසීලය වෙත මේ දින වල වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ ප්‍රබල ක්‍රීඩක Neymar ඔවුන්ගේ ලෝක කුසලාන සංචිතය සඳහා ඇතුළත් කර නොගැනීමට ඉඩ ඇති බව සැල වීමත් සමඟයි. 

බ්‍රසීලය ලෝක කුසලානය සඳහා වන සිය සංචිත ප්‍රකාශයට පත් කිරීම එළඹෙන මැයි මස 18 වැනි දා සිදු කිරීමට නියමිත අතර, ඊට පෙර ඔවුන් ජාත්‍යන්තර තරග ද්විත්වයකට මුහුණ දීමට නියමිතයි. 

එළඹෙන මාර්තු 26 දින ප්‍රංශය සමඟ සහ මාර්තු 31 ක්‍රොයේශියාව සමඟ බ්‍රසීලය තරග වැදීමට නියමිත අතර, මේ වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා බ්‍රසීල පාපන්දු සංචිතයට පසුගිය දා ප්‍රකාශයට පත් කළා. 

කෙසේ වෙතත් මෙම සංචිතයට Neymarගේ නම ඇතුළත් වුනේ නැහැ. 

මම මෙතන දී කතා කරනවා, මොකද මට මේක නිකම්ම යන්න දෙන්න බැහැ. අනිවාර්යයෙන් කණ්ඩායම තෝරා නොගැනීම ගැන මම දුකෙන් සහ අවුලෙනුයි ඉන්නේ. ඒත් දවසින් දවස, තරගයෙන් තරගය මගේ ඉලක්කය තාමත් එහෙම්මමයිවෙනසක් නැහැ. අපි අපේ ඉලක්කය සපුරා ගන්නවා. තාමත් අවසන් සංචිතය ප්‍රකාශයට පත් කරලා නැහැ, තව එක අවස්ථාවක් තියෙනවා. ඒ නිසා හීනය තවමත් ජීවමානයි. 

තමන්ගේ නම බ්‍රසීල සංචිතයට ඇතුළත් නොවීමෙන් අනතුරුව Neymar විසින් ඒ පිළිබඳ ව එසේ සිය අදහස් ප්‍රකාශ කළා. 

මේ වන විට 34 වැනි වියේ පසු වන Neymar, බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල (79) රැස් කළ ක්‍රීඩකයා ලෙස ද වාර්තා අතරට එක් වී සිටිනවා. කෙසේ නමුත් දිගින් දිගටම ආබාධ තත්වයන්ට ගොදුරු වීම හේතුවෙන් ඔහු 2023 වසරෙන් පසුව තවමත් බ්‍රසීලය නියෝජනය කිරීමට වරම් ලබා නැහැ. 

“Neymar තවමත් 100%ක් හොඳ මට්ටමේ නැහැ. ඒ නිසයි ඔහු ලැයිස්තුවේ නැත්තේ. Neymar තමන්ගේ හැකියාවන් 100%ක් පෙන්වන මට්ටමේ තවමත් නැහැ. ඔහුට ශාරීරිකව 100%ක් හොඳ මට්ටමට එන්න පුළුවන් නම් ඔහු සංචිතයේ ඉඳීවීඔහු ලෝක කුසලානයේ ඉන්න ඉඩ තියෙනවාඔහුට ඒ වෙනුවෙන් දිගටම වැඩ කරන්න වෙනවා, ක්‍රීඩා කරන්න වෙනවා. තමන්ගේ දක්ෂතා පෙන්වමින් හොඳ සෞඛ්‍ය මට්ටමක් රැක ගැනීමට සිදු වෙනවා. 

බ්‍රසීල පාපන්දු ප්‍රධාන පුහුණුකරු Carlo Ancelotti මේ සම්බන්ධයෙන් එසේ සිට අදහස් පළ කර තිබුණා. 

Neymar මේ වන විට Santos පාපන්දු කණ්ඩායම නියෝජනය කරන අතර, 2026 වසරේ මේ දක්වා ඔහු Santos කණ්ඩායම වෙනුවෙන් තරග පහක් ක්‍රීඩා කරමින් ගෝල 2ක් සහ Assists 2ක් බැගින් වාර්තා කිරීමට සමත් වී තිබෙනවා. 

කෙසේ වෙතත් Santos සමඟ දෙවැනි වර එකතු වීමෙන් පසුවත් Neymarට ආබාධ නිසා වරින් වර තරග අහිමි වුනා. 

අවසන් වරට Neymar Santos වෙනුවෙන් ක්‍රීඩා කළ තරගයේ දී ද ඔහු සාර්ථක ලෙස ක්‍රීඩාවේ නියැලුණු බව දක්නට ලැබුණු අතර, මෙම තරගයට නැරඹීමට Ancelottiගේ සහයකයින් දෙදෙනෙකු ද සහභාගී වී තිබුණා. 

Neymar නොමැතිව දැනට නම් කර ඇති බ්‍රසීල සංචිතයේ ඉදිරි පෙළ ක්‍රීඩකයින් ලෙස Raphinha, Vinicius Junior, Endrick වැනි ක්‍රීඩකයින් සිටිනා අතර, ඔවුන් සමඟ සිය නම ද සංචිතයට එක් කර ගැනීමට Neymarට අමතර සටනක් දීමට සිදු වනු ඇති. 

අපි මේ ලෝක කුසලානයට හොඳින් සූදානම් වෙනවා. තාක්ෂණික ශාරීරිකව සහ මානසික ව හොඳම තත්වයන්ගෙන් ලෝක කුසලානයට එන්න අපිට අවශ්‍යයි. Endrick, Rayan, Danilo වගේ තමන්ගේ ලීග්වල ඉතාම හොඳින් ක්‍රීඩා කරන, කණ්ඩායමට ඇතුළත් විය යුතු ක්‍රීඩකයින් ඉන්නවා. 

Ancelotti එසේ සඳහන් කර තිබුණා. 

මේ අතරම තම කණ්ඩායම් සගයා සමඟ ක්‍රීඩා කිරීම වෙනුවෙන් මග බලා හිඳින බ්‍රසීල ක්‍රීඩකයින් ඕනෑ තරම් සිටින බව ද නොරසහක්. 

මගේ මතය අනුව කතා කරන්න දෙයක් වත් නැහැ. ඔහු නොමැතිව ජයග්‍රහණය කිරීම ගැන හිතන්නවත් බැහැ. ඔහුව අපිට අවශ්‍යයි. 

බ්‍රසීල ඉදිරි පෙළ ක්‍රීඩක Rodrygo එසේ සඳහන් කර තිබුණා. කෙසේ වෙතත් පසුගිය දිනවල ආබාධ තත්වයකට මුහුණ දීමට සිදුවීම නිසා Rodrygoට මෙවර ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති. නමුත් ඔහු තවමත් Neymar වෙනුවෙන් බලාපොරොත්තු තබා ඇති බව වටහා ගත හැකි. 

ඔහුට තමන්ගේ අවසන් Pass එක කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් මගේ සහය ඔහුට ලැබෙනවා. ආජන්ටිනාව ඒක Messi එක්ක කළා. දිනුම සහ පැරදුම අතර සීමාව හරිම තුනීයි. Neymar වගේ අය තමයි ඒ සීමාව බිඳලා දාන්නේ. 

බ්‍රසීල මැද පෙළ ක්‍රීඩක Casemiro එසේ සිය අදහස් පළ කරනවා. 

පුහුණුකරුගේ තීරණයට සහ ක්‍රීඩකයින් සූදානම් කිරීමේ වැදගත්කම ගැන මම ගරු කරනවා. Neymar හොඳ මට්ටමට ආවට පස්සේ ඔහුව ප්‍රතික්ෂේප කරන්න බැහැ. 2026 ලෝක කුසලානයේ දී ඔහු සමඟ ක්‍රීඩා කරන්න මට විශේෂ උවමනාවක් තියෙනවා. 

බ්‍රසීල ඉදිරි පෙළ ක්‍රීඩක Vini Jr එසේ සිය අදහස් සඳහන් කර තිබුණා. 

මම ඔහුව ඕනෑම වෙලාවක සාදයරයෙන් පිළිගන්නවා. ඔහු විශිෂ්ට මිතුරෙක්. සැබෑ දක්ෂයෙක්. නමුත් මේක ගොඩක් දේවල් මත රඳා පවතින දෙයක්. ඔහු හොඳින් ඉන්නවා නම්, ඔහු පෙර සේ ක්‍රීඩා කරනවා නම්ඇයි නැත්තේ? 

තවත් බ්‍රසීල ක්‍රීඩකයකු වන Marquinhos විසින් Neymar පිළිබඳ ඒ අයුරින් පවසනවා. 

Neymar මෙවර ලෝක කුසලානයට සහභාගී වීම ඔහුගේ මෙන්ම ඔහුගේ සියලු රසිකයින්ගේ ද බලාපොරොත්තුව බව නොරහසක්. එමෙන්ම ඔහුගේ කණ්ඩායම් සගයින් ද ඔහු වෙනුවෙන් බොහෝ බලාපොරොත්තු තබා ඇති බව වටහා ගත හැකි. 

කෙසේ වෙතත් මෙහි දී Neymar සතුව විශේෂ වගකීමක් රැඳී පවතිනවා. Neymar විසින් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රීඩා කරන ආකාරය ඔහුගේ සහ බොහෝ විට බ්‍රසීලයේ ද ලෝක කුසලාන ඉරණම තීරණය කරනු ඇතැයි අනුමාන කළ හැකි. 

2026 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ThePapare විශේෂ ලිපි රැසක් ඔබට රැගෙන ඒමට සූදානමින් පසු වනවාඑම තොරතුරු ද ඇතුළුව දෙස්විදෙස් පාපන්දු පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා  පිවිසෙන්න <<