96 වැනි සුලෝහිත සංග්‍රාමයට කඳවුරු බඳියි

96th Battle of the Maroons

2
96th Battle of the Maroons

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 27, 28 සහ මාර්තු මස 01 වැනි දිනවල දී කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරග සමය ආරම්භ වෙමින් පැවැත්වෙන පළමු තරගය වෙන්නේ මෙයයි.

96 වැනි වරටත් සක්‍රීයවන මෙම තරගමාලාව ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන අතර මේ දක්වා පැවැති තරගවල දී තරග 12ක ජයග්‍රහණ ආනන්ද විද්‍යාලය ද සහ තරග 7ක ජයග්‍රහණ නාලන්දා විද්‍යාලය විසින් ද ලබා ඇති අතර තරග 76ක් නිමා වී ඇත්තේ විසඳුමකින් තොරවයි.

නිමා වූ තරග අතුරින් ආසන්නත ම ජයග්‍රාහකයා වන්නේ 2022 වසරේ නාලන්දා විද්‍යාලය දිනෙත් සමරවීර ගේ නායකත්වයෙන් ලත් ජයග්‍රහණයයි. ඔවුන් එම ජයග්‍රහණය වාර්තා කරන්නේ වසර 69කට පසුව වීම ද විශේෂත්වක් වන අතර  ආනන්ද විද්‍යාලය අවසන් වරට සුලෝහිත සංග්‍රාමයක් ජයග්‍රහණය කර ඇත්තේ දුමින්ද කුලරත්න ගේ නායකත්වයෙන් යුතුව 2003 වසරේදීයි.

1924 වසරේ දී ආරම්භ වූ සුලෝහිත සංග්‍රාමය මෙරට බෞද්ධ පාසල් අතර පැවැත්වෙන පැරණිත ම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙන් ම මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට වැඩි ම ක්‍රීඩකයන් ප්‍රමාණයක් එක් කරන ලද විද්‍යාල ලෙසින් ද ප්‍රචලිතයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද සහ ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ලෝක කුසලානයක් රැගෙන ආ නායක අර්ජුන රණතුංග කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද ක්‍රිකට් පිටියට පිවිසි ජ්‍යෙෂ්ඨයන් වන අතර ඊට අමතර ව සුනිල් වෙත්තිමුනි, සිදත් වෙත්තිමුනි, අජිත් ද සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, සංජීව රණතුංග, චන්ද්‍රික හතුරුසිංහ, මාවන් අතපත්තු, අවිශ්ක ගුණතිලක, තිලාන් සමරවීර, තිළිණ කණ්ඩම්බි සහ දිනේෂ් චන්දිමාල් වැන්නෝ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද අනුර රණසිංහ, ලලිත් කළුපෙරුම, හේමන්ත දේවප්‍රිය, රොෂාන් මහානාම, අසංග ගුරුසිංහ, සනත් කළුපෙරුම,  කුමාර ධර්මසේන සහ මහේල ජයවර්ධන වැන්නෝ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද සුලෝහිත සංග්‍රාමය නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට පිවිසි අති විශාල ක්‍රීඩකයන් අතුරින් කිහිප දෙනෙක් පමණක් ලෙසින් දැක් විය හැකියි.

ආනන්ද විද්‍යාලය

මෙවර පැවැත්වෙන සුලෝහිත සංග්‍රාමයේ දී කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ කිත්ම විදානපතිරණ වෙතයි. පසුගිය වසරේ දී නිමා වූ වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කිරිමට කිත්ම විදානපතිරණ සමත් වුණා.

මෙවර නිමා වූ තරග සමයේ දී තරග 10කට සහභාගී වූ කිත්ම විදානපතිරණ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 315ක්. එම ලකුණු අතර කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහි ව ලකුණු 101ක් ද රැඳී ඇති අතර ඊට අමතර කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහි ව ලබා ගත් අර්ධ ශතකයක් ද එහි රැඳී තිබෙනවා.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන කිත්ම විදානපතිරණ කඩුලු 33ක් දවා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා ලෙසින් ද වැජඹෙනවා.

නිමා වූ වයස අවුරුදු 19න් පහළ පාසල් තරගවාරයේ දී ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ අනෙක් ශතකලාභියා වෙන්නේ ලිත්ම පෙරේරා. ඔහු වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයට එරෙහි ව නොදැවී ලකුණු 106ක් ලබා ගනිමින් එම ලැයිස්තුව නියෝජනය කළ අතර නිමා වූ තරග සමයේ දී ලකුණු 315ක් ද ලබා ගන්නවා.

කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර විශ්වාසය දිනා ඇත්තේ හිමිර කුඩාගම සහ ශාරද ජයරත්න යි. ඔවුන් අතුරින් හිමිර කුඩාගම ලකුණු 284ක් ද සහ කඩුලු 25ක් ද සහ ශාරද ජයරත්න ලකුණු 235ක් සහ කඩුලු 23ක් ද ලබා ගනිමින් ඊට එක් ව සිටිනවා.

ඔවුන්ට අමතර ව පන්දු යවන්නන් අතර දසිත් බටුගහගේ කඩුලු 12ක් දවා ගනිමින් ද, චමත්ක ඉරුශ සහ පසුගිය වසරේ නායක ආශිංස නයිනායක කඩුලු 11ක් බැගින් ද දවා ගනිමින් දක්ෂ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවට එක් ව සිටිනවා.

ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

කිත්ම විදානපතිරණ (නායක), නෙතුල එදිරිමාන්න (උප නායක), ආශිංස නයිනායක, බිනර ඉඳුවර, දෙනෙත් බිමිසර, ඔවින් පෙරේරා, රශාන් විජේරත්න, හිමිර කුඩාගම, දනිරු රණසිංහ, චමත්ක ඉරුශ, දසිත් බටුගහගේ, නිලෙත් සුලීව්, තිනුර මාකවිට, විශ්ව වේරගොඩ, ලිත්ම පෙරේරා, මිශික අබේවර්ධන, දනිඳු සෙල්ලපෙරුම සහ ජනදීප ඔකාශ්.

 

නිලධාරීන්

ලාල් දිසානායක (විදුහල්පති), රන්දික පෙරේරා (නියෝජ්‍ය විදුහල්පති), සුගීත් මදුරංග (උප විදුහල්පති), නාමල් රත්නායක (සහකාර විදුහල්පති), අමරනාත් රණසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), චතුර අතුකෝරල (ක්‍රිකට් භාර ආචාර්ය), කැලුම් ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), ධරන්ත මෙනේරිගම (සහාය පුහුණුකරු), ලක්ෂාන් හේවගේ (සහාය පුහුණුකරු), හසල සංකල්ප (physio).

සියලු බලාපොරොත්තු නිමයි; ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ අන්ත අසරණ වෙයි

නාලන්දා විද්‍යාලය

මෙවර සුලෝහිත සංග්‍රාමයට එක් වෙන කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ ඔසඳ හෙට්ටිආරච්චි වෙතයි. නදුල් ජයලත් කණ්ඩායමේ උප නායකයා වන අතර ඔහු පසුගිය සුලෝහිත සංග්‍රාමයේ දී නාලන්දය වෙනුවෙන් ශතකයක් ද ලබා ගත් අතර ඒ හේතුවෙන් ම ඔහු මෙවර තරගයට සහභාගී වන ක්‍රීඩකයන් අතර විශේෂත්වයෙන් ලා සැලකෙනවා.

නාලන්දා විද්‍යාලය සතු ක්‍රීඩකයන් අතුරින් නෙමිඳු අක්මීමන, සන්තුල් විජේරත්න, මල්ෂ ප්‍රනාන්දු සහ හසිත් රත්නායක මෙවර සුලෝහිත සංග්‍රාමයේ දී නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ සිටින විශ්වසනීය ක්‍රීඩකයන් බවට පත් ව සිටිනවා.

නාලන්දා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

ඔසඳ හෙට්ටිආරච්චි (නායක), නදුල් ජයලත් (උප නායක), තිවිරු රණසිංහ, සහස් ගොඩගේ, රන්මිත් සේනාරත්න, මෙතුක පෙරේරා, හසිත් රත්නායක, සන්තුල් විජේරත්න, ඔමිත් රත්නායක, ලිතුම් විජේකුමාර, මල්ශ ප්‍රනාන්දු, දුනිත අනුසාර, නෙමිඳු අක්මිමන, මිහින් සොයිසා, දුනාල් සෙන්දනායක, ගයුක හේරත්, ගෙවිඳු මනම්පේරි සහ සදෙව් විජේසේකර.

 

නිලධාරින්

 

ඉරාන් චම්පික සිල්වා (විදුහල්පති), චරිත කුශාන් (උප විදුහල්පති), අනුප වීරරත්න (නියෝජ්‍ය විදුහල්පති), දීප්ති කුලතුංග (සහකාර විදුහල්පති), විරාජ් ද සිල්වා (ක්‍රීඩා භාර ආචාර්ය), කපිල නන්ද කුමාර (ක්‍රිකට් භාර ආචාර්ය), මොනීශාන් චතුරංග (සහකාර ක්‍රිකට් භාර ආචාර්ය), නුවන් සොයිසා (ප්‍රධාන පුහුණුකරු), නිමන්ත පීරිස් (සහාය පුහුණුකරු).

දෙරට අතර පී. ද එස්. කුලරත්න අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර තරගය පළමු වරට දිවා/රාත්‍රී තරගයක් ලෙසින් මාර්තු මස 7 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<