ශ්‍රී ලංකාවට පල්ලෙකැලේ දී හමුවෙන වංශවත් සුල්තාන්වරුන්

ICC Men's T20 World Cup 2026

3
ICC Men's T20 World Cup 2026

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය ඕමානය සමඟින් හෙට (12 වැනිදා) දිවා තරගයක් ලෙසින් මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි. ‍මෙම තරගය මෙවර තරගාවලියේ 16 වැනි තරගයයි.

ඕමානය මෙවර ලෝක කුසලාන තරගාවලිය හා එක් වෙන්නේ සිව් වැනි වතාවටයි. ඔවුන් මීට පෙර 2016, 2021 සහ 2024 යන වසරවල දී මෙම තරගමාලාව සමඟ එක් වූ අතර මෙවර පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ආසියා – පැසිෆික් කලාප සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී 2 වැනි ස්ථානයට පත් වෙමින් මේ අවස්ථාව උදා කර ගන්නවා.

ඔවුන් මේ දක්වා ලෝක කුසලාන තරග 11කට සහභාගී වී තිබන අතර ඉන් ජයග්‍රහණය කරනු ලබන්නේ තරග ද්විත්වයක දී පමණයි. ඒ 2016 වසරේ දී අයර්ලන්තයට එරෙහි ව සහ 2021 වසරේ දී පැපුවා නිව් ගිනියාවට එරෙහිවයි.

ඉතිරි තරගවලින් තරගයක් ලකුණු සම වීමෙන් ද තවත් තරගයක් විසඳුමකින් තොරව ද අවසන් කරන ඔවුන්ට අනෙක් තරග 7 නිමා කිරීමට සිදු වෙන්නේ පරාජිත තරග ලෙසිනුයි. ඒ අතර මෙවර තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම වෙතින් ලත් පරාජය ද තිබෙනවා.

ඕමාන ඉතිහාසයේ මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ තරග 111කට පමණක් වන අතර ඒ අතර ශ්‍රී ලංකාව සමඟින් එක ඳු හෝ තරගයක්වත් නැහැ. ඒ අනුව ඔවුනොවුන් විස්සයි විස්ස ලෝක ජාත්‍යන්තර තරග පිටියක දී හමුවෙන පළමු අවස්ථාව මෙයයි. ඔවුනොවුන් මේ දක්වා ජාත්‍යන්තර තරග පිටියක දී හමුව ඇත්තේ එක් එක්දින තරගයක දී පමණක් වන අතර එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10ක ජයග්‍රහණයක් හිමිකර ගන්නවා.

ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වෙන ඕමාන කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ ඕමාන කණ්ඩායම් ඉනිම ආරම්භ කරන 36 වැනි වියේ පසුවෙන Jatinder Singh වෙතයි. මේ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 73කට සහභාගී වී ඇති ඔහු අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 1610ක් ලබා සිටිනවා.

එම ලකුණු සංඛ්‍යාව ඕමාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා.

2016 වසරේ සිට මේ දක්වා ලෝක කුසලාන තරගමාලා 3ක තරග 6කට සහභාගී වී ඇති ඔහු අර්ධ ශතකයක් සමඟින් ලකුණු 167ක් ලබා සිටිනවා.

කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨත ම ක්‍රීඩකයා වන 44 වැනි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩක Aamir Kaleem ඔවුන්ගේ වඩාත් විශ්වසනීය ක්‍රීඩකයා වී සිටිනවා. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 55කට සහභාගී වෙමින් අර්ධ ශතක ද්විත්වයක් ද සමඟින් ලකුණු 723ක් ද සහ කඩුලු 48ක් ද ලබා සිටිනවා.

ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා A කණ්ඩායම සමඟ පැවැති පුහුණු තරගයේ දී පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 80ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය ඔවුන් වෙත ගෙන ගිය නියමුවා ද වූවා.

සුල්තාන්වරුන්ගේ වංශවත් තුන් ඉරියව් ක්‍රීඩකයා Aamir Kaleem

Aamir Kaleem පසුගිය දා SSC පිටියේ දී පැවැති ඕමාන සහ සිම්බාබ්වේ තරගයට සහභාගී වීමත් සමඟින් විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ වයස් ගත ම ක්‍රීඩකයා බවට ද පත් වුණා.

ඔහුට අමතර ව මැද පෙළින් පිටියට පිවිසෙන Sufyan Mehmood සහ Shakeel Ahmed ද කණ්ඩායමේ සිටින විශ්වසනීය තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් හැඳින්වෙනවා.

ඒ අතුරින් Shakeel Ahmed තරග 45කට සහභාගී වෙමින් ලකුණු 259ක් සහ කඩුලු 34ක් ලබා ගනිමින් ද Sufyan Mehmood මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 23කට ක්‍රීඩා කරමින් ලකුණු 163ක් ද සහ කඩුලු 23ක් ද ලබා සිටිමින් දක්ෂතා දක්වා තිබෙනවා.

ඔවුන්ට අමතර ව පිතිකරුවන් අතර Vinayak Shukla ඉදිරි පෙළ ශක්තිමත් කරන පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙනවා. කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන Vinayak Shukla මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 20කට සහභාගී වෙමින් අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 437ක් ලබා සිටින අතර ඔහුට අමතර ව තරග 24ක දී අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟින් ලකුණු 406ක් ලබා සිටින  Hammad Mirza ඕමාන පිතිකරු ලැයිස්තුවේ දක්ෂතා දැක්විය හැකි ක්‍රීඩකයන් ලෙසින් හැඳින්වෙනවා.

ඕමාන සංචිතය

 

Jatinder Singh (නායක), Aamir Kaleem, Hammad Mirza, Karan Sonavale, Wasim Ali, Sufyan Mehmood, Vinayak Shukla (කඩුලු රකින්නා), Jiten Ramanandi, Nadeem Khan, Shakeel Ahmed, Shah Faisal, Ashish Odedara, Jay Odedra, Mohammad Nadeem, Shafiq Jan, Hassnain Shah.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන් ම, සියලු තරගවල සජීවී අත්දැකීම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<