පාකිස්තානය සහ ඉන්දියාව ජයග්‍රහණ වාර්තා කරයි

ICC U 19 Cricket World Cup 2026

1

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 13 වැනි දිනය (27) අවසන් වෙද්දී තරගාවලියේ සුපිරි 6 වටයේ 2 වැනි කාණ්ඩයෙන් තරග බිමට පිවිසි පාකිස්තානය සහ ඉන්දියාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූවා.  

මෙහි දී ඉන්දීය කණ්ඩායමේ Vihaan Malhotra සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව ශතකයක් වාර්තා කිරීම කැපී පෙණුනා.  

ශ්‍රී ලංකාව නැවතත් සටනට අවතීර්ණ වෙයි; අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ජීවමානයි

29 වැනි තරගය, Super Sixes, Group 2, නවසීලන්තය සහ පාකිස්තාන අතර  

Harare ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන්ගේ ඉනිම ලකුණු 110කට සීමා කිරීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වෙනවා.  

ඒ අනුව පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 197ක් ද ඉතිරි කර ගනිමිනුයි.  

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ  Hugo Bogue. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී Abdul Subhan ලකුණු 11කට කඩුලු 4ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Ali Raza කඩුලු 3ක් දවා ගත්තා. 

පිළිතුරු පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Sameer Minhas. ඔහු තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා සිටියා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • නවසීලන්තවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 110 (28.3) Hugo Bogue 39, Ali Raza 3/36, Abdul Subhan 4/11 
  • පාකිස්තානවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 2ක් දැවී 112 (17.1) Sameer Minhas නොදැවී 76, Mason Clarke 1/34 

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  

තරගයේ වීරයා – Abdul Subhan (පාකිස්තානය) 

30 වැනි තරගය, Super Sixes, Group 2, ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර  

Bulawayo හී Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 352ක් ලබා ගත්තා.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ වමත් පිතිකරු Vihaan Malhotra. ඔහු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා ගන්නවා. ඊට අමතර ව Abhigyan Kundu පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 113ක සබඳතාවක් ගොඩ නගනවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු Vaibhav Sooryavanshi පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.  

පිළිතුර ඉනිම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිම ලකුණු 148කට සීමා වෙනවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Leeroy Chiwaula. ඔහු 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගන්නවා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව සිම්බාබ්වේ ඉනිමේ ඉතිරි කඩුලු 5 ලකුණු 6ක් තුළ දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී Ayush Mhatre සහ Udhav Mohan කඩුලු 3ක් බැගින් ද RS Ambrish කඩුලු 2ක් ද දවා ගන්නවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

  • ඉන්දීයවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 352 (50.0) Aaron George 23, Vaibhav Sooryavanshi 52, Ayush Mhatre 21, Vihaan Malhotra නොදැවී 109, Abhigyan Kundu 61, RS Ambrish 21, Khilan Patel 30, Panashe Mazai 2/86, Tatenda Chimugoro 3/49, Simbarashe Mudzengerere 2/51  
  • සිම්බාබ්වේවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 148 (37.4)  Kian Blignaut 37, Leeroy Chiwaula 62, Tatenda Chimugoro 29, RS Ambrish 2/19, Udhav Mohan 3/20, Ayush Mhatre 3/14 

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 204ක ජයක්.  

තරගයේ වීරයා – Vihaan Malhotra (ඉන්දියාව) 

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<