ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (7) සිට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
- ජනවාරි 7 වැනිදා : 1 වැනි විස්සයි විස්ස තරගය
- ජනවාරි 9 වැනිදා : 2 වැනි විස්සයි විස්ස තරගය
- ජනවාරි 11 වැනිදා : 3 වැනි විස්සයි විස්ස තරගය
දෙරට ක්‍රීඩකයෝ පසුගිය නොවැම්බර් මාසයේ දී පාකිස්තානයේ දී සිම්බාබ්වේ කණඩායම ද සමඟින් සහභාගී වු තුන් කොන් විස්සයි විස්ස තරගාවලියකට එක් වූවා. එහි දී තරගාවලියේ ජයග්‍රහණය පාකිස්තානය සතු වෙන අතර අනුශූරයන් බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවයි.
එම තරගාවලිය ද ඇතුලත් ව මේ වන විට දෙරට ක්‍රීඩකයෝ විස්සයි විස්ස තරග 27ක් පවත්වා ඇති අතර ඉන් පාකිස්තානය අවස්ථා 16ක දී ද සහ ශ්‍රී ලංකාව අවස්ථා 11ක දී ද ජයග්‍රහණය කර තිබෙනවා.
කෙසේ වෙතත් දෙරට අතර පමණක් පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලි මෙතෙක් පවත්වා ඇත්තේ 7 වරක් පමණක් වන අතර ඉන් පාකිස්තානය 4 වතාවක් ජයග්‍රහණය කරන අතර තවත් තරගාවලි ද්විත්වයක් සම වෙමින් අවසන් ව තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙතෙක් ජයග්‍රහණය කිරීමට ලැබී ඇත්තේ එක් වතාවක් පමණක් වන අතර ඒ 2019/20 වසරේ දී අවසන් වරට පැවැති තරගාවලියේදීයි.
| ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගාවලි ලැයිස්තුව | ||||
| සත්කාරකත්වය | තරග | ජයග්‍රහණය | වසර | |
| 1 | ශ්‍රී ලංකාව | 1 | පාකිස්තානයට තරග 1-0ක ජයක්. | 2009 |
| 2 | පාකිස්තානය | 1 | පාකිස්තානයට තරග 1-0ක ජයක්. | 2011/12 |
| 3 | ශ්‍රී ලංකාව | 2 | තරග 1-1ක් ලෙස සමයි. | 2012 |
| 4 | පාකිස්තානය | 2 | තරග 1-1ක් ලෙස සමයි. | 2013/14 |
| 5 | ශ්‍රී ලංකාව | 2 | පාකිස්තානයට තරග 2-0ක ජයක්. | 2015 |
| 6 | පාකිස්තානය | 3 | පාකිස්තානයට තරග 3-0ක ජයක්. | 2017/18 |
| 7 | පාකිස්තානය | 3 | ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක්. | 2019/20 |
- එළඹෙන ජනවාරියේ දී T20 තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවේ සංචාරයක
- T20 ලෝක කුසලානය ඉලක්ක කර ශ්‍රී ලංකාවට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්!
- ලෝක කුසලාන මූලික සංචිතයට 25ක්; නායකත්වය දසුන්ට
මේ ඉතිහාසයත් සමඟින් මෙරට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Salman Agha වෙතයි. ඔහු මේ දක්වා විස්සයි විස්ස තරග 47කදී අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 675ක් ලබා තිබෙනවා.
කණ්ඩායමේ සිදු ව ඇති ප්‍රධානතම වෙනස්කම වෙන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Shadab Khan නැවත කණ්ඩායමට එක් කිරීමයි. ඔහු පාකිස්තාන කණ්ඩායම හා එක් වෙන්නේ පසුගිය වසරේ ජුනි මාසයෙන් පසුවයි. ඔහු මේ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 112ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 792ක් සහ කඩුලු 112ක් ලබා සිටිනවා.
කණ්ඩායම හා එක් ව ඇති ක්‍රීඩකයන් අතුරින් වඩාත් අවධානයට යොමු කළ යුතු පිතිකරු බවට පත් වෙන්නේ ඉදිරිපෙළ වමත් පිතිකරු Fakhar Zaman. ඔහු මේ දක්වා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 114කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 13ක් සමඟින් ලකුණු 2360ක් ලබා ගනිමින් මෙම තරගාවලිය හා එක් වෙනවා.
එමෙන් ම බොහෝ විට පාකිස්තාන ඉනිම ආරම්භ කරතැයි සිතෙන වමත් පිතිකරු Saim Ayub සේ ම දකුණත් පිතිකරු Sahibzada Farhan ද මෙම තරගාවලියේ දී අපට අභියෝගයක් එල්ල කළ හැකි ප්‍රධානත ම ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.
Saim Ayub මේ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 56කට ක්‍රීඩා කරමින් අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1079ක් ලබා සිටින Sahibzada Farhan විස්සයි විස්ස ජාත්‍යන්තර ඉනිම් 35ක දී අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 857ක් ලබා ගනිමිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ.
ඊට අමතර ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Mohammad Nawaz ද අවධානයට ලක් විය යුතු ක්‍රීඩකයෙක්. වමත් පිතිකරුවෙක් වන ඔහු මේ වෙද්දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉනිම් 60ක දී ලකුණු 839ක් ද සහ වමතින් දඟ පන්දු යවමින් කඩුලු 86ක් ද දවාගෙන තිබෙනවා.
ඊට අමතර ව දකුණතින් මඳ වේග පන්දු යවන Faheem Ashraf විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 76ක දී කඩුලු 60ක් දවා ගනිමින් ද සහ පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 535ක් ද ලබා ගනිමින් මෙම තරගාවලිය හා එක් වෙනවා.
පාකිස්තාන පන්දු යවන්නන්ගේ බලඇණියේ අවධානයට ලක් විය යුතු අනෙක් ක්‍රීඩකයන් වෙන්නේ වමතින් වේග පන්දු යවන Salman Mirza, දකුණතින් මඳ වේග පන්දු යවන Mohammad Wasim සහ වමතින් දඟ පන්දු යවන Abrar Ahmed වෙතයි. ඔවුන් තිදෙනා ද තරගයේ පාලනයට ප්‍රබල තර්ජනයක් එල්ල කළ හැකි ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.
ඔවුන්ට අමතර ව නවක ක්‍රීඩකයෙක් වන Khawaja Nafay ද මෙම සංචිතයට ඇතුලත් කර තිබෙනවා. දකුණත් පිතිකරුවෙක් වන 23 හැවිරිදි වියේ පසුවෙන ඔහු මෙම කණ්ඩායමට එක් වෙන්නේ විස්සයි විස්ස තරග 32ක දී අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 688ක් ලබා ගනිමින් පෑ දක්ෂතාත් සමඟිනුයි.
පාකිස්තාන විස්සයි විස්ස සංචිතය
Salman Agha (නායක), Abdul Samad, Abrar Ahmed, Faheem Ashraf, Fakhar Zaman, Khawaja Nafay (කඩුලු රකින්නා), Mohammad Nawaz, Salman Mirza, Mohammad Wasim, Naseem Shah, Sahibzada Farhan (කඩුලු රකින්නා), Saim Ayub, Shadab Khan, Usman Khan (කඩුලු රකින්නා), Usman Tariq.
- ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නැවතත් ක්රිකට් තේරීම් කමිටුවේ මුල් පුටුවට!
- පාකිස්තානය 19න් පහළ ආසියානු කුසලානය දිනා ගනී
- 2025 වසරේ දී මැද මාවතක ගිය ශ්‍රී ලංකා ක්රිකට් දෙස නැවත හැරී බැලීමක්
ශ්‍රී ලංකා – පාකිස්තානය විස්සයි විස්ස තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්
211/3 (20.0) : ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් කණ්ඩායම බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවයි. (2013 වසරේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.)
පාකිස්තානය ඉනිමක දී ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන්නේ 2007 වසරේ Johannesburg හි දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 189යි.
95/10 (17.4) : ඉනිමක අඩු ම ලකුණු ලබා ගත් කණ්ඩායම වෙන්නේ පාකිස්තානයි. (2012 දී සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.)
ශ්‍රී ලංකාව ඉනිමක වාර්තා කළ අඩු ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ 2012 වසරේ දී සූරියවැව දී ම ලබා ගත් ලකුණු 99යි.
398 : කණ්ඩායම් ද්විත්වය එක් ව ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ 2013 වසරේ දී ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
95 : කණ්ඩායම් ද්විත්වය එක් ව ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව වාර්තා වෙන්නේ 2012 වසරේ දී සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.
64 runs : කණ්ඩායම් ද්විත්වය අතුරින් වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම වෙන්නේ 2019 වසරේ දී Lahore හි දී ශ්‍රී ලංකාව ලත් ජයග්‍රහණයයි.
397 : දෙරට ක්‍රීඩකයන් අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා වෙන්නේ පාකිස්තානයේ Shoaib Malik. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 16ක ඉනිම් 16ක දී යි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එම වාර්තාවේ හිමිකාරීත්වය සතු වෙන්නේ තිලකරත්න ඩිල්ශාන් සතුවයි. ඔහු තරග 14ක ඉනිම් 14ක දී ලකුණු 323ක් ලබා ගෙන තිබෙනවා.
84 : දෙරට ක්‍රීඩකයන් අතුරින් ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ කුසල් පෙරේරා. ඔහු 2013 වසරේ දී ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් එම ඉනිම වාර්තා කරනවා.
පාකිස්තානය වෙනුවෙන් මෙම වාර්තාව උසුලන්නේ 2025 වසරේ දී Rawalpindi හි දී පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 80යි.
3 : දෙරට ක්‍රීඩකයන් අතුරින් වැඩිම අර්ධ ශතක වාර්තා කළ පිතිකරු වෙන්නේ පාකිස්තානයේ Shahid Afridi.
17x 6s : මෙතෙක් වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ පාකිස්තානයේ Shahid Afridi.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි පළමු වැනියා වී සිටින්නේ හයේ පහර 13ක් ලබා සිටින භානුක රාජපක්ෂ.
41x 4s : මෙතෙක් වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ශාන්.
පාකිස්තානය වෙනුවෙන් එහි පළමු වැනියා වී සිටින්නේ හතරේ පහර 35ක් ලබා සිටින Shoaib Malik.
18 : දෙරට අතර වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත් ව ඇත්තේ ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 9ක පන්දුවාර 36ක් යවමින්.
එහි පාකිස්තාන පන්දු යවන්නා වී සිටින්නේ තරග 15ක පන්දුවාර 56ක් යවමින් කඩුලු 14ක් ලබා සිටින Shahid Afridi.
4/13 : දෙරට පන්දු යවන්නන් අතුරින් ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව පාකිස්තානයේ Mohammad Amir සහ Umar Gul සතු වෙනවා. ඔවුන් දෙදෙනා එම දක්ෂතාව දක්වන්නේ පිළිවෙළින් 2017 වසරේ දී සහ 2008 වසරේදීයි.
110 : ඕනෑ ම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ශාන් සහ දිනේෂ් චන්දිමාල් එක් ව 2016 වසරේ දී Mirpur හි දී 1 වැනි කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාවයි.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















