ඕස්ට්‍රේලියානු දිය කිඳුරිය හදිසියේ ක්‍රීඩාවට සමුදෙයි!

115
Ariarne Titmus announced her retirement from swimming

ඕස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ටතම පිහිනුම් ශූරියක් ලෙස සැලකුම් ලබන Ariarne Titnus තම ක්‍රීඩා ජීවිතයට සමු දීමට තීරණය කර තිබෙනවා.

තවමත් 25 හැවිරිදි වියේ පසු වන Ariarne විසින් අද (16) උදෑසන මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශය පත් කළ අතර, කිසිවකු හෝ බලාපොරොත්තු නොවූ මොහොතක නිකුත් වූ මෙම නිවේදනය නිසා බොහෝ ක්‍රීඩා රසිකයින් ඒ පිළිබඳ තොරතුරු සෙවීමට උත්සුක වී තිබෙනවා.

කාන්තා මීටර් 200 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ ලෝක වාර්තාවට තවමත් හිමිකම් කියන Ariarne විසින් මීට පෙර කාන්තා මීටර් 400 නිදහස් ආර ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කීමට සමත් වී සිටියා. කාන්තා දිගු දුර පිහිනීම් ඉසව්වල ලොව බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩිකාවන් අතරේ නම රැඳවීමට සමත් වූ Ariarne විසින් තම ක්‍රීඩා සමය තුළ ඇමරිකාවේ විශිෂ්ටතම පිහිනුම් ශූරිය ලෙස සැලකෙන Katie Ledecky මෙන්ම කැනඩා ජාතික පිහිනුම් ශූරියක් වන Summer Mcintosh සමඟත් කරට කර තරග වැදුණා.

එමෙන්ම ඔවුන් තිදෙනා විසින් ගෙවුණු වසර එකොළහක කාලය තුළ කාන්තා මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාව හත් වතාවක් වෙනස් කිරීමට සමත් වූ අතර, ඉන් දෙවතාවක ම Ariarneගේ නම ඉදිරියේ ලෝක වාර්තාව සටහන් වුනා.

එමෙන්ම මෙම ක්‍රීඩිකාවන් තිදෙනා විසින් 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී සහභාගී වූ කාන්තා මීටර් 400 නිදහස් ආර පිහිනුම් අවසන් මහා තරගය “ශතවර්ෂයේ පිහිනුම් ඉසව්ව” ලෙසයි තවමත් සඳහන් කරන්නේ.

ශතවර්ෂයේ පිහිනුම් ඉසව්ව

කාන්තා මීටර් 400 පිහිනුම් ඉසව්ව වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ ඇති වූ තියුණු ම සටන මෙය ලෙසයි තවමත් සටහන් වන්නේ. එවකට එම ඉසව්වේ ලෝක වාර්තාව Ariarne සතු වූ අතර, Ledecky සහ Mcintosh දෙදෙනා ම ඊට පෙර එම ලෝක වාර්තාවට හිමි කම් කීමට සමත් වී තිබුණා. එවන් වටපිටාවක ආරම්භ වූ ඉසව්වේ දී මෙම තිදෙනා ම කරට කර සටනක නිරත වූ අතර, අවසානයේ ඉසව්ව ජය ගැනීමට Ariarne Titmus විසින් සමත් වුනේ අනෙක් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් දෙදෙනා දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද දමමිනුයි.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ද කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම ජය ගැනීමට Ariarne විසින් සමත් වූ අතර, ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ එම ඉසව්ව දෙවරක් නොකඩවා ජය ගැනීමට සමත් වූ ලොව දෙවැනි ක්‍රීඩිකාව වීමට ද (ආසන්න වශයෙන් වසර 100කට පසුව) ඇය මෙහි දී සමත් වුනා.

පිළිකාව සමඟ ද සටන් වැද පිහිනීමට පිවිසීම

Ariarne Titmus විසින් 2025 Laureus සම්මාන අතරේ වසරේ විශිෂ්ටතම නැවත පැමිණීම (Comeback Of The Year) සම්මානය සඳහා නිර්දේශ ලැබුවා. ඇය මෙම සම්මානයට නිර්දේශ වීම සඳහා සුවිශේෂී කරුණක් හේතු වුනා. Ariarne විසින් 2024 ඔලිම්පික් උළෙලට පිවිසීමට පෙර 2023 වසරේ දී ඇයගේ ඩිම්බකෝෂයේ පිළිකාවක් වර්ධනය වන බව හඳුනා ගැනුණු අතර, පසුව සැත්කමක් මගින් ඒවා ඉවත් කෙරුණා.

එම සැත්කමට මුහුණ දීමෙන් පසුව ඇය 2024 ඔලිම්පික් උළෙලට සහභාගී වූ අතර, පෙර සඳහන් කළ කාන්තා මීටර් 400 ඉසව්වේ රන් පදක්කම ජය ගැනීමට අමතරව, මීටර් 200 නිදහස් ආර සහය ඉසව්වේ රන් පදක්කම මෙන්ම, මීටර් 200 නිදහස් ආර සහ මීටර් 800 නිදහස් ආර ඉසව් ද්විත්වයේ රිදී පදක්කම් ජය ගැනීමට ද සමත් වුනා.

ඇය ඔලිම්පික් පදක්කම් අටක හිමිකාරිනිය වන අතර  2024 ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම් ද්විත්වයක් සහ රිදී පදක්කම් ද්විවයක් ජයග්‍රහණය කළ ඇය, ඊට පෙර 2020 ඔලිම්පික් උළෙලේ දී ද රන් පදක්කම් ද්විත්වයක්, එක් රිදී පදක්කමක් සහ එක් ලෝකඩ පදක්කමක් ජය ගැනීමට සමත් වුනා.

එමෙන්ම ලෝක ශූරතා රන් පදක්කම් හතරක්, රිදී පදක්කම් දෙකක් මෙන්ම ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් ජයග්‍රහණය කිරීමට ද ඇය සමත් වීම විශේෂත්වයක්.

ප්‍රතිවාදියන්ගෙන් පැසසුම්

“විශිෂ්ට තරගකාරියක්, වීරවරියක් සහ විශිෂ්ට මනුශ්‍යයෙක්”

 ඇමරිකානු පිහිනුම් ශූරී Katie Ledecky විසින් සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාවගේ සමු ගැනීම පිළිබඳ එසේ සඳහන් කළා.

2019 වසරේ දී යාන්තමින් 19 හැවිරිදි වියේ පසු වූ Ariarne විසින් තමන් ජාත්‍යන්තරයට අභියෝග කිරීමට සූදානමින් පසු වන බව ප්‍රථම වතාවට ලොවට කියා පෑමට සමත් වූ අතර, 2019 ලෝක ශූරතාවයේ දී ඇය විසින් මීටර් 400 ඉසව්වෙන් එවකට ලෝක ශූරිය සහ ලෝක වාර්තාවේ හිමිකාරිනිය වූ Ledecky පරාජය කිරීමට සමත් වුනා. එදා සිට මේ වන තෙක් නැවතත් Ledecky හට මෙම ඉසව්වෙන් ලෝක මට්ටමේ රන් පදක්කමක් වෙත යාමට අවකාශය හිමි වුනේ නැහැ.

“ඔයා නැති පාළුව දැනේ වී,

ඔයාගේ විශිෂ්ට ක්‍රීඩා ජීවිතයට සුබ පැතුම්, ඒ වගේම ඔයාගේ අනාගතයටත් සුබ පැතුම් එකතු කරනවා”

ඇයගේ අනෙක් ප්‍රබලතම ප්‍රතිවාදිනිය වූ කැනඩාවේ Summer Mcintosh එසේ සඳහන් කරනවා. කාන්තා මීටර් 400 ඉසව්වේ ලෝක වාර්තාව මේ වන විට Mcintosh සතුව පවතින අතර, Ariarne සහ Mcintosh විසින් මෙම ලෝක වාර්තාව වරින් වර සිව් වතාවක් වෙනස් කිරීමට සමත් වුනා.

පිළිකාව තම දැක්ම වෙනස් කළ බව Ariarne පවසයි

නොසිතූ මොහොතක ඇති වූ පිළිකා රෝගී තත්වයෙන් පසුව තමන්ගේ දැක්ම තරමක් වෙනස් වූ බවයි Ariarne Titmus සඳහන් කරන්නේ.

“ඒක අමාරුයි. ඒත් මම මේ තීරණය ගැන සතුටු වෙනවා. මම හැමදාම පිහිනුම් ක්‍රීඩාවට ආසා කළා. පුංචි කෙල්ලෙක් කාලේ ඉඳන් ම මගේ ආස දේ වුනේ පිහිනීම.

නමුත් මම දැන් ක්‍රීඩාවෙන් ඈත් වෙලා ගෙවපු කාලය ඇතුළේ මගේ ජීවිතයේ මට වැදගත් වෙන තවත් දේවල් තියෙන බව මට දැනුණා. සමහර විට ඒවා පිහිනීමට වඩා පොඩ්ඩක් වැඩියෙන් වැදගත්.

පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වීමෙන් අනතුරුව ඇය විසින් වසරකට ආසන්න කාලයක් ක්‍රීඩාවෙන් ඈත් වී සිටි අතර, ඉන් පසුවයි සිය සමු ගැනීම ප්‍රකාශයට පත් කළේ. එම ගෙවුණු කාලය තුළ තම අනාගතය වෙනත් මාවතකට යොමු කළ යුතු බව ඇය වටහා ගත් බවයි සඳහන් කරන්නේ.

“පිහිනීමෙන් එපිට දෙයක් ගැන මම හිතපු මුල්ම වතාව මේක වෙන්න ඇති. සෞඛ්‍ය ගැටලු එක්කම මට පිහිනීමෙන් එහාට දේවල් ගැන හිතන්න වුනා. මට මගේ පෞද්ගලික ජීවිතය ගැන ඉලක්ක තිබුණා, ඒත් සෑම විටම පිහිනීම තමයි මට හැමදාම වැදගත් වුනේ. නමුත් මගේ ඉලක්ක සහ අනාගතයේ දී මට අවශ්‍ය මොනවද කියන දේ දැන් වඩාත් වැදගත් බව මට වැටහුණා.”

පිළිකා තත්වය සමඟ තමන් පිහිනීමෙන් ඔබ්බට ජීවිතයක් පිළිබඳ සිතීමට පෙලඹුණු බවයි ඇය සඳහන් කරන්නේ.

නමුත් පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වන කාලය තුළ ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ තමන්ට කිසිදු අදහසක් නොතිබූ බවත් ඇය සඳහන් කරනවා.

“මම හිතාගෙන හිටියේ ආයෙත් ක්‍රීඩාවට පිවිසෙන්න. පැරිස් ඔලිම්පික් උළෙල මගේ අන්තිම ඔලිම්පික් උළෙල වේවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.

මම දැන් දන්න දේ එදා දැන ගෙන හිටියා නම්, සමහර විට මට මගේ අවසන් පිහිනුම් තරගය තව ටිකක් විඳින්න ඉඩ තිබුණා කියලා හිතෙනවා.

Ariarne Titmus විසින් සිය Instagram ගිණුම හරහා වීඩියෝවක් පළ කරමින් සහ ආදරණීය සටහනක් තබමින් මෙම සමු ගැනීම නිවේදනය කළා.

දෙස්, විදෙස් ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<