ශ්‍රී ජයවර්ධනපුර සටන මෙවරත් ජය පරාජයෙන් තොරයි

1322

වෙනුක් හෙට්ටිආරච්චිගේ පන්දු යැවීමත්, සොනාර කරුණාතුංග, නුරාජ් ප්‍රසංග හා තිමිර මල්ෂාන්ගේ දස්කම්වලිනුත් විචිත්‍රවත් වූ නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවති 22 වන ශ්‍රී ජයවර්ධනපුර සටන 20 වන වතාවටත් ජය පරාජයෙන් තොරව කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (7) අවසන් විය.

නුරාජ් හා වෙනුක් ජයවර්ධනපුර සටනේ පළමු දිනය වර්ණවත් කරති

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර පැවැත්වෙන 22 වැනි …….

දෙවන දිනය වූ අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ආනන්ද ශාස්ත්‍රාලය සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 73ක් ලබාගෙන සිටියේ සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 115ක් පසුපසින් සිටිමිනි.

දෙවන දිනයට තරගය ආරම්භ කරනු පිණිස පිටියට පිවිසි ආනන්ද ශාස්ත්‍රාලයේ සොනාර ලකුණු 35*ක් ලබාගෙන තිබූ අතර ඔහු හා එක්වූ දකුණතින් පිත්ත හසුරුවන ඉසුරු අවින්ද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූයේ තරගයේ පළමු ඉනිම ජය ගැනීමට හැකි වාතාවරණයක් ආනන්ද ශාස්ත්‍රාලයට ලබා දෙමිනි.

4 පහර දෙකක් සමඟ ලකුණු 27ක් ලබාගෙන සිටි මැදපෙළ පිතිකරුවෙක් වන ඉසුරු තනුෂ සඳරුවන්ගේ පන්දුවකට හිරුෂ සංදීප වෙතට උඩ පන්දුවක් ලබාදෙමින් ක්‍රීඩාගාරයට හැරී ගියේ ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි.

සාන්ත ජෝන් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 40ක සබඳතාවයක් ගොඩනංවාගත් වමතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවෙක් වන සොනාර හා කුෂාන් දාබරේ සිය විද්‍යාල ලකුණු සටහන ලකුණු 165ක් දක්වා රැගෙන එන ලදි.

පන්දු 137ක් තුළ 4 පහර 10ක් හා එක් 6 පහරක් ලබා ගත් සොනාරගේ (ලකුණු 83) ඉනිමට තිත තැබීමට මිතිල පූර්ණජිත් සමත් විය. ඒ මිතිල යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි.

>> 22 වන ශ්‍රී ජයවර්ධනපුර සටනේ ඡායාරූප <<

අංක 8 ස්ථානයේ ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නායක තිමිර මල්ෂාන් වේගවත් ලකුණු 73ක් ලබා ගත්තේ 4 පහර 5ක් හා දැවැන්ත 6 පහර 4ක් එල්ල කරමිනි. තිමිර එම ලකුණු 73 ලබා ගැනීමට වැය කළේ පන්දු 64ක් පමණි. අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 278ක් ලබාගත් ආනන්ද ශාස්ත්‍රාලය සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

පන්දු යැවීමේ දී සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් වමතින් පා දඟපන්දු යවන මිතිල පූර්ණජිත් හා තනුෂ සඳරුවන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ලකුණු 90ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි සාන්ත ජෝන් විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් තිදෙනා වෙනුක් හෙට්ටිආරච්චි ඇතුළු ආනන්ද ශාස්ත්‍රාල පන්දු යවන්නන් හමුවේ අසාර්ථක වූයේ තරගයේ වැඩි වාසිය ආනන්ද ශාස්ත්‍රාලය දෙසට හරවාලමිනි.

ශ්‍රී ජයවර්ධනපුර මහා සටනට සියල්ල සූදානම්

ශ්‍රී ජයවර්ධනපුර මහා සටන නමින් ප්‍රසිද්ධියට පත් නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලය හා කෝට්ටේ……

තරගය පුරාවට පන්දුවෙන් දස්කම් දැක්වූ වෙනුක් හෙට්ටිආරච්චි ආනන්ද ශාස්ත්‍රාලය වෙනුවෙන් කඩුලු 10ක් දවා ගන්නා ලදි.

1991 සිට පවත්වනු ලබන මෙම ක්‍රිකට් තරගයේ තරග 2ක් පමණක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වී ඇත. එම තරග දෙකම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විසින් ජයග්‍රහණය කර ඇත. සාන්ත ජෝන් විද්‍යාලයට තවමත් සිය විද්‍යාල නාමයට ඉදිරියෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකිව ඇති අතර අද නිමාවට පත්වූ මෙම තරගයත් සමගම තරග 20ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිම – 188 (65.5): නුරාජ් ප්‍රසංග 84, ගෝපාල් සෙල්වකුමාර් 36, ශවින් හත්වැල්ල 16, වෙනුක් හෙට්ටිආරච්චි 6/28, ඉසුරු අවින්ද 3/55.

ආනන්ද ශාස්ත්‍රාල පළමු ඉනිම – 278/9d (65.3): සොනාර කරුණාතුංග 83, තිමිර මල්ෂාන් 73, ඉසුරු අවින්ද 27, මිතිල පූර්ණජිත් 3/61, තනුෂ සඳරුවන් 3/62.

සාන්ත ජෝන් විද්‍යාල දෙවන ඉනිම– 114/6 (43): තෙශාන් මාලින්ද 22, වෙනුක් හෙට්ටිආරච්චි 4/49.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<