බේස්බෝල් ශූරතාව ආනන්ද විද්‍යාලයට

112
All Island U20 Baseball Tournament 2025

සමස්ත ලංකා වයස අවුරුදු 20න් පහළ බේස්බෝල් ශූරතාවය කොළඹ ආනන්ද විද්‍යාලය විසින් දිනා ගත්තා. ඔවුන් මෙම ශූරතාව දිනා ගන්නේ අවුරුදු 19කට පසුවයි.

පසුගියදා දියගම බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී නිමා වූ 2025 බේස්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී කොළඹ ආනන්ද විද්‍යාලය වෙතින් පරාජයට පත් වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයි. එම තරගයේ දී ඔවුන් ලකුණු 10-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා.

මනුත් ජයසිංහ ගේ නායකත්වයෙන් සහ යසඳු කිරිඇල්ල ගේ උපනායකත්වයෙන් යුත් කොළඹ ආනන්ද විද්‍යාලයීය බේස්බෝල් කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබා ගන්නේ අපරාජිතව වීමත් විශේෂත්වයක්.

ඔවුන් අවසන් වරට බේස්බෝල් ශූරතාවක් දිනා ගන්නේ 2006 වසරේ ශාලිත පෙරේරා ගේ නායකත්වයෙන් සහ නවීන් කස්තුරිමුදලි ගේ උප නායකත්වයෙන් යුතුවයි. ජයග්‍රාහී එම කණ්ඩායමේ පුහුණුකරු වූයේ වෙනුර උබේසිංහ.

ඔවුන් මෙම තරගාවලියේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහි ව ලකුණු 10-3ක්, කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහි ව ලකුණු 15-1ක්, මහනුවර රණබිම රාජකීය විද්‍යාලයට එරෙහි ව ලකුණු 10-0ක් සහ පදවිය පරාක්‍රමපුර විද්‍යාලයට එරෙහි ව ලකුණු 11-6ක් ලෙසින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

එම වටයේ දී ඔවුන් වෙතින් පරාජයට පත් වෙන්නේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයයි. තියුණු තරගයකින් යුත් එම තරගය නිමා වෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 4-3ක ජයග්‍රහණයක් ලබා දෙමිනුයි. තරගාවලියේ අපරාජිත ආනන්ද විද්‍යාලයේ පුහුණුකරු ලෙසින් නවින් අනුරාධ මහතා කටයුතු කළ අතර සහාය පුහුණුකරු වූයේ සසංග පවන් මහතා.

නිමා වූ මෙම තරගාවලියේ ශූරතා කුසලානයට අමතර ව පිදුණු සුවිශේෂී කුසලාන ද කොළඹ ආනන්ද විද්‍යාලය සතු වීම විශේෂත්වයක්. ඒ අනුව තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස උදාන සත්සර ද, තරගාවලියේ දක්ෂතම පන්දු රකින්නා ලෙස ඉමේෂ් උඩවත්ත ද සහ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස නායක මනුත් ජයසිංහ ද සම්මාන ලබා ගත්තා.

කොළඹ ආනන්ද විද්‍යාලයීය බේස්බෝල් කණ්ඩායම

මනුත් ජයසිංහ (නායක), යසඳු කිරිඇල්ල (උප නායක), ඉමේෂ් උඩවත්ත, උදාන සත්සර, ජයනිඳු ප්‍රේමතිලක, බිනඟ දුල්මෙත්, සඳරු මල්ශාන්, සහස් රන්දිව්, නිලක්ෂ ශෙහාර, ඉසුරු ස්වර්ණකුමාර, ප්‍රවීන් සංකල්ප, තරුල් මෙසඳු, මලිඳු කස්තුරිආරච්චි, පවන් මිහිරංග, දිනුජ දිනෙත්, නවිඳු කොඩිතුවක්කු, සහිරු දිනීප, ලෝචන මනුහස්.

නිලධාරීන්

ආර්. ඒ. ඒ. රණසිංහ (බේස්බෝල් භාර ආචාර්ය), නවින් අනුරාධ (ප්‍රධාන පුහුණුකරු), සසංග පවන් (සහාය පුහුණුකරු)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<