ටෙස්ට් ක්‍රිකට් තරගයක් කියන්නේ ඉනිම් හතරක් තුල බොහෝ වෙනස්කම් වලට භාජනය වෙමින් උපරිමය දවස් පහක් තිස්සේ ඇදී යන ක්‍රීඩාවක්.
මේ වගේ දීර්ඝ තරගයක වුනත් එක් ක්‍රීඩකයෙකුට පුළුවන් සමස්ත තරගයක් ම වෙනස් කරන්න. එහෙම නැත්නම් කණ්ඩායමකින් ගිලිහිලා යන ගෞරවය රැක ගන්න.
ශ්‍රී ලාංකික පිතිකරුවන් විසින් ඉතිහාසයේ සටහන් කළ එවැනි ඉනිම් පිළිබඳ මීට පෙර ලිපිය මඟින් මතකය අවදි කළා. මේ ලිපිය එහි දෙවැනි අදියර විදිහට ශ්‍රී ලාංකික පන්දු යවන්නන් විසින් ටෙස්ට් තරගවල දී දැක්වූ විශිෂ්ට පන්දු යැවීමේ දක්ෂතා කිහිපයක් නැවතත් මතකාවර්ජනය කරන්නයි සූදානම් වෙන්නේ.
විදෙස් රටක ලද පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ලබා දුන් චමින්ද වාස්
ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වේගපන්දු යවන්නා සහ ඕනෑම මොහොතක සිය උපරිමය පන්දුවෙන් මෙන් ම පිත්තෙන් පවා ලබා දෙන්න සමත් වුන ක්‍රීඩකයෙක් විදිහට චමින්ද වාස් ව හඳුන්වලා දෙන්න පුළුවන්.

1995 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ කරන තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. මේ තරගයේ වීරයා විදිහට සම්මාන දිනා ගන්නේ චමින්ද වාස් විසින්.
වාස් විසින් මේ තරගයේ දී (ඉනිම් දෙකේ දී ම) පිත්තෙන් ලකුණු 69ක් ලබා ගන්න වගේ ම, පන්දුවෙන් කඩුලු 10ක් දවා ගන්නත් (ඉනිම් දෙකේ දී ම 5 බැගින්) සමත් වෙනවා.
පළවෙනි තරගය ලකුණු 241කින් ජයග්‍රහණය කරන්න සමත් වුන ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවැනි තරගය ජය පරාජයෙන් තොර ව අවසන් කරලා තරගාවලිය 1-0ක් විදිහට ජයග්‍රහණය කරන්නත් සමත් වෙනවා.
දෙවැනි තරගයේ දීත් වාස් පන්දු යවපු එක ම ඉනිමේ කඩුලු 6 සහ පිත්තෙන් අර්ධ ශතකයකුත් රැස් කරන්න සමත් වෙනවා.1995 නවසීලන්ත තරග සංචාරය වාස්ගේ ම නමට ලියැවුණු එකක් බවට පත් වුනේ ඒ විදිහට.
වාස් 95 දී නවසීලන්තයේ දී කළ දේ ම 2000 දී ශ්‍රී ලංකාවේ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවත් සිදු කරන්න සමත් වෙනවා.
තරගාවලියේ මුල් තරග දෙක ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබුණු මොහොතක ආරම්භ වුනු තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉනිම් දෙකේ දී ම කඩුලු 7 බැගින් දවා ගන්න චමින්ද වාස් විසින් සමත් වුනා. සමස්ත තරගයේ දී ම කඩුලු 14ක් දවා ගත්තු වාස් සමස්ත තරගාවලියේ ලබා ගත් කඩුලු ගණන 26ක්.
ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී ම වාස්ගේ දස්කම්
ඉහත දක්ෂතා දෙකම වාස් ගැන කතා වෙන වෙලාවකට කතාබහට ලක් වෙන්න ඉඩක් තිබුනත්, 2005 දී වාස් විසින් ඉන්දියාවට එරෙහිව ක්‍රියාත්මක කළ පන්දුවාර 21 පිළිබඳ කතාබහට ලක් වෙන්නේ තරමක් අඩුවෙන් බව මට හිතෙනවා.

වාස් විසින් මේ තරගයේ දී පන්දුවාර 21ක් යොමු කරලා ලකුණු 20කට කඩුලු 4ක් දවා ගන්න සමත් වෙනවා. විශේෂතම දේ තමයි ඔහු යැවූ පන්දුවාර 21න් 14ක් ම නිලකුණු පන්දුවාර වීම. ඒ වගේ ම ඉන් නිලකුණු පන්දුවාර 11ක් ම ඔහු පිට පිට ම යවන්න සමත් වූ බවත් සඳහන් කළ යුතුමයි.
ඒ වගේ ම 2004 වසරේ දී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සිදු කළ තරග සංචාරයේ පළමු තරගයේ දී වාස් කඩුලු 7ක් දවා ගන්න සමත් වෙන්නේ පළමු ඉනිමේ කඩුලු 5ක් දවා ගැනීමත් සමඟ.
වාස්ගේ ඒ දක්ෂතාව වගේ ම මේ තරගාවලියේ දෙවැනි තරගයේ දී ඕස්ට්‍රේලියාවේ ඉනිම් දෙකේ ම කඩුලු 5 බැගින් දවා ගනිමින් කඩුලු 10ක දස්කමක් පෙන්වපු උපුල් චන්දන්වත් මෙහි දී විශේෂයෙන් ම මතක් කළ යුතුයි.
දිල්හාර ප්‍රනාන්දු 2002 දී දකුණු අප්‍රිකාවට එරෙහිව
2002 වසරේ දී ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක් සිදු කරනවා. මේ සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේ දී (සෙන්චූරියන් හී පැවැත්වුණු) දකුණු අප්‍රිකානු කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා ගන්න හිමි වෙන්නේ ලකුණු 124ක පහසු ඉලක්කයක්.
නමුත් මේ ඉලක්කය හිතපු තරම් පහසුවෙන් හඹා යන්න දකුණු අප්‍රිකාවට අවකාශය ලැබෙන්නේ නැහැ. ඔවුන් තරගය ජයග්‍රහණය කරන්නේ කඩුලු 7ක් දැවී ගියායින් පසුව.
මෙහි දී දකුණු අප්‍රිකාවට ලොකු ම හිසරදය බවට පත් වෙන්නේ දිල්හාර ප්‍රනාන්දු. ඔහු විසින් පන්දුවාර 12ක් යොමු කරමින් ලකුණු 49කට දකුණු අප්‍රිකානු කඩුලු 4ක් බිඳ හෙළන්න සමත් වෙනවා.
තරගය පරාජය වුනත් එදා දිල්හාරගේ පන්දු යැවීම අදටත් ශ්‍රී ලාංකික ක්‍රිකට් රසිකයින්ට සොඳුරු මතකයක් වග නොඅනුමානයි.
ඇඹුලාගේ කඩුලු 5
2019 දී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී කුසල් ජනිත් පෙරේරා විසින් ලබා ගත්ත ලකුණු 153 ශ්‍රී ලංකා ක්‍රිකට් වල සදා අමරණීය මතකයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්.
නමුත් කුසල්ගේ විශිෂ්ට ඉනිම නිසා බොහෝ දෙනෙකුගේ අවධානයෙන් ගිලිහුණු විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙන්න ලසිත් ඇඹුල්දෙනිය සමත් වෙන්නේ දකුණු අප්‍රිකාවේ දෙවැනි ඉනිමේ දී ලකුණු 61කට කඩුලු 5ක් බිඳ හෙළමිනුයි.

1989 වසරේ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ දී සිදු කළ තරග සංචාරයේ දෙවැනි තරගය ලකුණු 173කින් පරාජය වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වෙනවා. නමුත් ඒ තරගයේ දී ශ්‍රී ලංකාවේ රුමේෂ් රත්නායක විසින් කඩුලු 8ක් බිඳ හෙළන්න සමත් වෙන්නේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ බිඳ හෙළන්න සමත් වුන කඩුලු 6කුත් සමඟයි.
ඒ වගේ ම මේ තරගාවලියේ පළමු තරගයේ දී ග්‍රැහැම් ලැබ්‍රෝයි විසින් පළමු ඉනිමේ කඩුලු 5ක් බිඳ හෙළන්න සමත් වීමත් විශේෂ සිදුවීමක්.
කෝසල කුරුප්පුආරච්චිගේ මංගල කඩුලු 5
වමත් මද වේගපන්දු යවන්නකු වුන කෝසල කුරුප්පුආරච්චි විසින් ක්‍රීඩා කරන්නේ ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් පමණයි. නමුත් ඔහුගේ මංගල ටෙස්ට් තරගයේ මංගල ඉනිම ඔහුට මෙන් ම එවකට ක්‍රිකට් උන්මාදයෙන් පෙළුණු බොහෝ ක්‍රිකට් රසිකයින්ට ද කිසිදා අමතක නොවන මතකයක් බවට පත් කරමින් පාකිස්තානයට එරෙහිව ලකුණු 44කට කඩුලු 5ක් බිඳ හෙළීමට කෝසල සමත් වෙනවා.
- ටෙස්ට් ශතක ජයග්‍රහණයක වරුණ
- ජයග්‍රහණ සියයයි; මතක දහසයි
- මුරලිව රිදී තිරයට ගෙනෙන “800”
- හැමදේම නැති වෙලත් තවමත් සිනහා වෙන ගබ්බර්!
- දෝණි ඉන්නේ හදවතේ!
මුරලිට එංගලන්තය ගෙදර වගේ
මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ දක්ෂතා ගැන අමුතුවෙන් ලිවිය යුතු නොවුනත්, මුරලි එංගලන්තයේ දී දක්වපු අසාමාන්‍ය දක්ෂතා කිහිපයක් සඳහන් කළ යුතු බව හැඟුණා.
1998 දී එංගලන්තයට එරෙහිව ඕවල් හිදී කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබා ගනිද්දී, ඒ තරගයේ වීරයා බවට පත් වෙන්නේ ඉනිම් දෙකේ දී එංගලන්ත කඩුලු 16ක් බිඳ හෙළන්න සමත් වුන මුත්තයියා මුරලිදරන්.

මේ තරගාවලියේ දෙවැනි තරගයේ දී කඩුලු 10ක් සහ තෙවන තරගයේ දී කඩුලු 11ක් මුරලි විසින් දවා ගන්න සමත් වෙන්නේ තරගාවලියේ වීරයා සම්මානයත් තමන්ගේ කර ගනිමිනුයි.
සනත් එංගලන්තයට එරෙහිව
2001 වසරේ එංගලන්තය ශ්‍රී ලංකාවට ඇවිත් ටෙස්ට් ක්‍රිකට් තරග තුනක් ක්‍රීඩා කරනවා. මේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙන්න සමත් වුනේ සනත් ජයසූරිය විසින්.
සනත් වැඩිම කඩුලු ලාභියා බවට පත් වුනත්, තරගාවලිය 2-1ක් විදිහට ජයග්‍රහණය කලේ එංගලන්තය. මේ තරගාවලියේ පළමු තරගයේ දී සනත් ඉනිම් දෙකේ දී කඩුලු 4 බැගින් කඩුලු 8ක් බිඳ හෙළන්න සමත් වෙනවා. ශ්‍රී ලංකාව පළමු තරගය ජයග්‍රහණය කරනවා. නමුත් තරගයේ වීරයා වෙන්නේ සනත් නෙවෙයි, විශිෂ්ට ද්විත්ව ශතකයක් වාර්තා කරපු මාවන් අතපත්තු.
මාලිංග නම් නවකයා
ලසිත් මාලිංග විසින් ටෙස්ට් වරම් දිනා ගන්න සමත් වෙන්නේ 2004 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහි ව. මේ තරගාවලිය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ මයි. තරග දෙකකින් සමන්විත වුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාලිංගගේ මංගල ටෙස්ට් තරගය වෙද්දී ඔහු එය සැමරුවේ පළමු ඉනිමේ කඩුලු 2ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 4ක් දවා ගනිමින්.
මේ තරගයේ දී මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව මුල් වරට සජීවී ව අත්විඳපු ඕස්ට්‍රේලියානු පිතිකරුවන් සෑහෙන්න වික්ෂිප්ත වුන බවත් ඒ කාලේ සඳහන් වුනා. ඕස්ට්‍රේලියාව වගේ රටක ටෙස්ට් වරම් ලබලා මාලිංග දක්වපු දක්ෂතා ගැන ඔහුට විශේෂ ඇගයීමක් ලැබිය යුතුමයි. ඒ වගේ ම ඒ තරගාවලියේ දෙවැනි තරගයේ පළමු ඉනිමේ දීත් මාලිංග විසින් තවත් කඩුලු 4ක් බිඳ හෙළන්න සමත් වුනා.

සුරංගගේ සිහිනය සැබෑ වීම
“ඕස්ට්‍රේලියානු කඩුලු පහක් දවා ගැනීම අන් සියල්ලට ම වඩා මට වටිනවා. ඕස්ට්‍රේලියාවේ දී කඩුලු 5ක් දවා ගැනීම මට අවශ්‍ය වී තිබුණු දෙයක්. ඒක මගේ සිහිනයක් සැබෑ වීමක්.”
2019 වසරේ ඕස්ට්‍රේලියාවේ ගැබා හී දී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු දිවා රාත්‍රි ටෙස්ට් තරගයේ දී ඕස්ට්‍රේලියාව ක්‍රීඩා කළ එක ම ඉනිමේ කඩුලු පහක් දවා ගන්න සමත් වීමෙන් පසුව සුරංග ලක්මාල් විසින් ඉහත ප්‍රකාශය සිදු කරනවා.

ඉතිහාසය පුරාවට ශ්‍රී ලාංකික පන්දු යවන්නන් විසින් පෙන්වපු තවත් මෙවැනි දක්ෂතා සෑහෙන්න ප්‍රමාණයක් සඳහන් කරන්න පුළුවන්. විශේෂයෙන් ම ඉහත නම සඳහන් නොවුනු රංගන හේරත් විසින් දක්වපු දක්ෂතා පවා වෙනම ම ලිපියකට ගන්න පුළුවන් තරම් තියෙනවා.
මේ එයින් කිහිපයක් විතරයි, ඒ වගේ ම පෙර ලිපියේ සඳහන් කළා සේ ම, මේ සමහර දක්ෂතා තරගයක් ජයග්‍රහණය කරවන්න සමත් වූ ඒවා නොවෙන්න පුළුවන්. නමුත් රටක ගෞරවය බේරලා දෙන්න සමත් වෙනවා කියන්නේ ජයග්‍රහණයක් තරමට ම වටිනාකම වෙනුවෙන් කේවල් කළ යුතු දෙයක්.
තොරතුරු ලබා දීමට දායකත්වය – කාංචන පිටිගල
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















