ලෝක කුසලානයේ පළමු අභියෝගයට ආසියාවම දිනූ සිංහයන් සීරුවෙන්

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

533

2022 ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට (16) Geelong හි Kardinia Park ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රතිවාදීන් වන්නේ නැමීබියාවයි.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් ශූරයින් සහ 2014 දී ලෝක විස්සයි විස්ස ශූරයින් බවට පත්වුණු ශ්‍රී ලංකාව, ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි රැසකට සහභාගී වී අත්දැකීම් ලබා ඇති කණ්ඩායමක් වුවත්, නැමීබියාව විස්සයි විස්ස ලෝක කුසලානයක් සඳහා සහභාගී වන දෙවැනි අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානය ආරම්භ වීමට පෙර පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතව තිබුණු අතර එහි දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 33කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූවත්, අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිත වූ තරගය පැවති අයහපත් කාලගුණික තත්වය නිසා ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ.

>>Photos – Sri Lanka training session ahead of Namibia Match | ICC T20 World Cup 2022<<

එසේම සිම්බාබ්වේ සහ නැමීබියා පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු නමුත් අයර්ලන්තයට එරෙහිව පැවැත්වුණු පුහුණු තරගය නැමීබියාව ලකුණු 11කින් ජයග්‍රහණය කිරීමට සමත් වීම කැපී පෙනුණා.

ශ්‍රී ලංකාව පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් මේ වන විට කණ්ඩායමක් ලෙස ඉතාමත් හොඳ රිද්මයකට පැමිණ තිබීම ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන සාධකයක්.

වැඩි අවධානයට

ශ්‍රී ලංකාවට විශාල ගැටලුවක් වී තිබෙන්නේ ඔවුන්ගේ අංකය 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කරන පිතිකරුවා ගැනයි. පුහුණු තරගයේ දී ඒ සඳහා ධනංජය ද සිල්වා අත්හදා බැලූ අතර නිමා වුනු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ද ධනංජය අංක 3 පිතිකරුවා ලෙස ක්‍රීඩා කළේ චරිත් අසලංක ඒ අවස්ථාවේ දී හොඳ රිද්මයක නොසිටි නිසයි.

කෙසේ වෙතත් ධනංජය ද සිල්වා හට කණ්ඩායමේ අංක 3 පිතිකරණ ස්ථානය ලැබීමට වැඩි ඉඩක් තිබෙන්නේ ඔහුගේ පන්දු යැවීමෙන් ද කණ්ඩායමේ සමබර කර ගැනීමට තිබෙන හැකියාව සහ ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ද ඔහු එම ස්ථානයේ ක්‍රීඩා කළ නිසයි.

කණ්ඩායම් සංයුතිය

ශ්‍රී ලංකාව සතුව සිටින අත්දැකීම් බහුලතම පිතිකරුවෙක් වන කඩුලු රකින පිතිකරු කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක සමඟ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇත. මෑතක දී ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක මේ වන විට මැදපෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට නියමිත අතර අංක 5 ස්ථානය සුපුරුදු පරිදි භානුක රාජපක්ෂ ක්‍රීඩා කරනු ඇත.

අංක 6 සිට 8 දක්වා ස්ථාන තුන තුල ක්‍රීඩා කිරීම සඳහා නායක දසුන් ශානක, වනිඳු හසරංග සහ චාමික කරුණාරත්න සූදානමින් සිටින විට, පන්දු යවන්නන් තෝරාගැනීමේ දී ආබාධයක් නිසාවෙන් නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මඟ හැරුණු දුෂ්මන්ත චමීර නැවතත් කණ්ඩායමේ සිය ස්ථානය දිනා ගනු ඇති අතර වමතින් වේගපන්දු යවන යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක හට අද (15) උදෑසන පුහුණුවීම් අතරතුර ඇතිව තිබෙන ආබාධයක් නිසාවෙන් දකුණතින් වේගපන්දු යවන ලහිරු කුමාර ඒ ස්ථානය දිනා ගැනීම සඳහා ඉදිරියෙන්ම සිටිනවා.

ඒ අනුව ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාවේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා ලෙස හෙට තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙන අතර, ICC විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව පළමු ස්ථාන 10 ඇතුළත සිටින යොවුන් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නන් ලෙස හෙට (16) තරගය ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පිතිකරණ දෙස බැලූ කල මෙන්ඩිස්ගේ ඉනිම ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වන්නේ ඔහු මේ වන විට ඉතාමත් හොඳ පිතිකරණ රිද්මයක සිටින නිසයි.

එසේම පන්දු යවන්නන්ගේ අංශය සලකා බැලීමේ දී දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාරගේ දස්කම් සහ ඔහුගේ පන්දු යැවීමේ වේගය ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ අවියක් වනු නිසැකයි.

නැමීබියාව දෙස බැලීමේ දී සමස්තයක් ලෙස ඔවුන්ට ජාත්‍යන්තර විස්සයි විස්ස අත්දැකීම් අඩු නමුත්, ඔවුන් සතුව ද දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සිටිනවා.

දකුණු අප්‍රිකානු ජාතික ක්‍රීඩකයෙක් වන David Wiese ඒ අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන අතර ඔහු දකුණු අප්‍රිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට අමතරව IPL, CPL සහ PSL වැනි ඉහළ මට්ටමේ ලීග් තරගාවලි රැසක් ක්‍රීඩා කර තිබෙනවා. ඔහුට විස්සයි විස්ස පිටියේ 3600කට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් සහ 248කට වඩා වැඩි කඩුලු ප්‍රමාණයක් හිමියි.

ඊට අමතරව ඔවුන්ගේ කණ්ඩායම් නායක Gerhard Erasmusගේ තුන් ඉරියව් දස්කම් සහ Michael van Lingenගේ පිතිකරණය ඔවුන්ගේ කණ්ඩායමට තිබෙන විශාල අවි වෙනවා.

ශ්‍රී ලංකා – නැමීබියා තරගයේ අපේක්ෂිත කණ්ඩායම්

  • ශ්‍රී ලංකාව: කුසල් මෙන්ඩිස් (wk), පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (c), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර.
  • නැමීබියාව: Michael Van Lingen, Divan La Cock, Jan Loftie-Eaton, Gerhard Erasmus (C), Zane Green (WK), David Wiese, Jan Frylinck, Ruben Trumpelmann, Pikky Ya France, Bernard Scholtz, Ben Shikongo”

තණතීරුව සහ කාලගුණය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පළමු අවස්ථාව වන අතර Geelong තණතීරුව (droping pitch) තරමක් වේගවත් සහ නව ජීවයක් සහිත තණතීරුවක් වීමට වැඩි ඉඩක් තිබෙනවා.

ලකුණු 160-170ක ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි නම් ඉතාමත් හොඳ තරගයක් දීමට අවස්ථාව තිබෙනවා. එසේම මේ දක්වා මේ ක්‍රීඩාංගණයේ පවත්වා තිබෙන්නේ එකම එක විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පමණක් වන අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු එම තරගය ශ්‍රී ලංකාව කඩුලු 2කින් ජය ගත්තා.

කාලගුණය දෙස අවධානය යොමු කිරීමේ දී වර්ෂාවෙන්  බාධාවක් එල්ල වීමට හැකි අතර සෙල්සියස් අංශක 9-12ත් අතර උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට පුළුවන්.

ශ්‍රී ලංකාව සහ නැමීබියාව සහභාගී වන 2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු සමාරම්භක තරගය හෙට (16) වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට Geelong හිදී ආරම්භ වීමට නියමිතයි.

එම තරගයේ තොරතුරු ඇතුළු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<