ලෝක කුසලානයේ අවධානය යොමු වන නව නීති

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

374

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක පරිදි නව ක්‍රිකට් නීති කිහිපයක් හඳුන්වා දුන් අතර ඒවා මෙවර ලෝක කුසලානයේ දී කතා බහට ලක් වෙන ඒවා වනවා.

මෙම කුඩා තරග ආකෘතිය තුළ එම වෙනස්කම් තරගයක විශාල වෙනසක් සිදු කළ හැකි ඒවා වන අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එවැනි වෙනස්කම් කිහිපයක්ම සිදු කළත් පහත වෙනස්කම් විශාල අවධානයක් දිනා ගන්නා ඒවා විය හැකි.

පන්දුවට පහර නොදෙන පිතිකරුවා දවා ගැනීම (Mankad)

පන්දු යවන්නා පන්දුව යැවීමට පෙර පන්දුවට පහර නොදෙන අන්තයේ පිතිකරුවා සීමා ඉරෙන් ඉදිරියට ගමන් කර සිටිය දී දවා ගැනීම මීට පෙර ‘Unfair Play’ කාණ්ඩයේ දවා ගැනීම් ලෙස වර්ගීකරණය වූවත්, නව නීති යටතේ දුවද්දී දවා ගැනීම් යටතට මාරු කර තිබෙනවා.

පිතිකරුවා එලෙස සීමා ඉරෙන් ඉදිරියට ගමන් කිරීම පන්දු යවන කණ්ඩායමට තරමක අවාසියක් වන අතර එය පන්දුවට පහර නොදෙන අන්තරයේ ස්ටම්ප් කිරීමක් ලෙස ද හැඳින්විය හැකි.

පසුගිය දා පැවති ඉන්දීය සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර තරගයක දී Deepti Sharma විසින් Charlie Deanව Mankad ක්‍රමයට දවා ගැනීම තරමක් ආන්දෝලනයකට තුඩු දුන් අතර එම සිදුවීමට එංගලන්ත ක්‍රීඩකයින් රැසක්ම සිය විරෝධය ප්‍රකාශ කර තිබුණා.

එනමුත් එම සිදුවීම නිත්‍ය දුවද්දී දවා ගැනීමක් ලෙස නම් කළ හැකි අතර මෙවර ලෝක කුසලානයේ දී එවැනි උණුසුම් සිදු වීම් දැක ගැනීමට අපට හැකි වෙයි ද?

අඩු පන්දුවාර වේගයේ දඬුවම

පන්දු රකින කණ්ඩායම විසින් සිය නියමිත පන්දුවාර ගණන ලබා දෙන කාලය තුළ යවා අවසන් කිරීමට අපොහොසත් වූ විට ඉතිරි පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ දී අමතර ක්‍රීඩකයෙකු යාර තිහේ සීමාවට කැඳවීම කළ යුතු වනවා.

මෙම නීතිය මෙම වසරේ මුල් භාගයේ දී හඳුන්වා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළත්, ක්‍රීඩකයින් තවමත් එයට අනුගත වී නොමැති අතර බොහෝ තරගවල අවසන් පන්දුවාර කිහිපයේ දී අමතර ක්‍රීඩකයෙකු යාර තිහේ සීමාවට ගැනීමට සිදු වීමෙන් දක්නට ලැබුණා.

නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ඉන්දියාව සහ පාකිස්තානය අතර ආරම්භක තරගයේ අවසන් පන්දුවාරයේ දී පාකිස්තාන ක්‍රීඩකයින්ට එම දඬුවමට යටත් වීමට සිදු වූ අතර එම නිසාවෙන් ඉන්දීය ක්‍රීඩකයින් අවසන් පන්දුවාරයේ දී කඩුලු පහක ජයක් ලැබුවා.

එමෙන්ම එම තරගාවලියේ තීරණාත්මක තරගයක් වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ දී බංග්ලාදේශ ක්‍රීඩකයින්ට ද එම දඬුවමට යටත් වීමට සිදු වූ අතර එම තරගය ද අවසන් පන්දු වාරයේ දී ජය ගත්තේ ශ්‍රී ලංකාව විසිනුයි.

මෙම තරග ආකෘතියේ දී මෙම සිදුවීමෙන් ද තරගයට විශාල වෙනසක් කළ හැකි.

නව පිතිකරුවා පිතිකරණ අන්තයේ ක්‍රීඩා කිරීම

නව නීතියට අනුව උඩ පන්දුවකින් පිතිකරුවෙකු දැවී ගිය විට නවක පිතිකරුවා පිතිකරණ අන්තයේ ක්‍රීඩා කළ යුතු වනවා.

පැරණි නීතියට අනුව උඩ පන්දුව ලබා ගැනීමේ දී පිතිකරුවන් අන්ත මාරු වී තිබේ නම් පැරණි පිතිකරුවාට පිතිකරණ අන්තයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබුණා.

මෙම නීතිය අවසන් පිතිකරුවන් සමඟ මුල් පෙළ පිතිකරුවෙකු පන්දුවට පහර දීමේ දී තරමක අවාසියක් පිතිකරණ කණ්ඩායමට සිදු වන අතර දැවී යාමක දී පෙර මෙන් අන්තය ලබා ගැනීමට නොහැකි වන නිසා තරගයේ ප්‍රතිඵලයට ද එය දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

පන්දු රකින්නන්ගේ අසාමාන්‍ය චලනය

පන්දු යවන්නන්ගේ පන්දු රැකීමේ ස්ථාන පිළිබඳව නිල ස්ථාවරය වෙනස් වී නොමැති නමුත් පන්දු රකින්නන්ගේ අසාමාන්‍ය චලනයන්ට දඬුවම් ලකුණු ලබා දීමට තීරණය කර තිබෙනවා.

පන්දු යවන්නෙකු පන්දු යැවීම සඳහා දිව එන විට දී පන්දු රකින්නන් විසින් හිතාමතාම කරන චලනයන් සඳහා ලකුණු 5ක් පිතිකරුවන්ට ලබා දී එම පන්දුව අජීවී පන්දුවක් බවට පත් කිරීමට විනිසුරුවරයාට හැකියාව පවතිනවා.

2014 වසරේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර පැවති එක්දින තරගයක දී Steve Smith විසින් එලෙස උඩපන්දුවක් ලබා ගත් අතර පාකිස්තාන පිතිකරුවා එල්ල කරන පහර අනුමාන කරමින් ඔහු සිය පන්දු රැකීමේ ස්ථානයෙන් චලනය වී එම උඩ පන්දුව රැක ගත්තා.

මෙම නීතිය නිසාවෙන් පිතිකරුවාට සිය පහරවල් වලට යාමේ දී තරමක වාසියක් වනවා.

තණතීරුවෙන් පිටත පතිත වන පන්දුවලට පහර දීම

නව නීතියට අනුව පන්දුවට පහර දීමේ දී පිතිකරුවාගේ හෝ ඔහුගේ පිත්තේ යම් කොටසක් තණතීරුව තුළ රැඳී තිබිය යුතුයි.

පිතිකරුවාව එලෙස තණතීරුවෙන් ඉවතට යෑමට යොමු කරන ඕනෑම පන්දුවක් අජීවී පන්දුවක් ලෙස විනිසුරුවා නම් කරන අතර එම පන්දුව නිපන්දුවක් ලෙස ද නම් කරනු ලබයි.

මෙම සිදුවීම තරගයක් තුළ සිදු වීම ඉතා අඩු වන නමුත් විස්සයි විස්ස තරගවල දී පන්දු යවන්නන් පන්දු යැවීමේ දී භාවිතා කරන උපක්‍රම වල දී පාලනයෙන් තොරව එලෙස සිදු වීමට ද අවස්ථාවක් තිබෙනවා.

එම නිසාවෙන් එලෙස සිදු වීමේ දී පන්දුව අජීවී වී නිපන්දුවක් පිතිකරුවන්ට හිමි වන අතර එය සඳහා නිදහස් පහරක් ද හිමි වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<