සාන්ත ජෝසප් සහ Hameed Al Husseinie ජයග්‍රහණ වාර්තා කරයි

ThePapare පාපන්දු ශූරතාවය 2022

256

වසර 3ක නිහැඬියාවකින් පසුව ThePapare පාපන්දු ශූරතාවය ඊයේ (29) ආරම්භ වුනා. තෙවැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයග්‍රහණය ලැබුවේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ Hameed Al Husseinie විද්‍යාලයයි.

සාන්ත ජෝසප් සහ කිංග්ස්වුඩ් විද්‍යාල අතර තරගය

මොරගස්මුල්ල ජනක රණවක ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ජය ගත්තේ ගෝල 4-2ක් ලෙසයි.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට සත්කාරක ක්‍රීඩා පිටිය තුළ ආරම්භයේ දී ම පීඩනයක් එල්ල කළ කිංග්ස්වුඩ් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කරන්නට Mohamed Ihshan සමත් වුනේ 23 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් කෙටි වේලාවකින් පසුව ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් ක්‍රීඩක තාරුක අශාන්ත විසින් කිංග්ස්වුඩ් ගෝල රකින්නා අතින් සිදු වූ වැරැද්දක් ප්‍රයෝජනයට ගනිමින් ලකුණු පුවරුව සම කරන්නට සමත් වුනා.

එම නිසාවෙන් පළමු අර්ධය අවසන් වුනේ ගෝල 1-1 ලෙසයි.

දෙවැනි අර්ධය තුළ ද ඉහළ දස්කම් පෙන්වූ කිංග්ස්වුඩ් වෙනුවෙන් Mohamed Farhan 53 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කළා.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට අවශ්‍ය මොහොතේ පිටියට එක්වූ ඇන්ඩෘ ද වාස් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවේ 66 සහ 77 වැනි මිනිත්තුවල දී ගෝල ද්විත්වයක් රැස් කරමිනුයි.

ඒ සමඟින් නැවත ක්‍රියාත්මක වූ තාරුක ගෝලය අසල දී ලැබුණු පන්දුවක් සාර්ථකව ගෝලයට තුළට එල්ල කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ගේ ජය තහවුරු කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් 4-2 කිංග්ස්වුඩ් විද්‍යාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • කිංග්ස්වුඩ්: Mohamed Ihshan (23′), Mohamed Farhan (53’)
  • සාන්ත ජෝසප්: තාරුක අශාන්ත (43′ & 84′) ඇන්ඩෘ ද වාස් (66′ & 77’)

Hameed Al Husseinie සහ ද මැසනෝඩ් විද්‍යාලය කඳාන

අවසන් මොහොත දක්වා ඇදී ගිය තියුණු සටනකින් පසුව ද මැසනෝඩ් ක්‍රීඩකයින් ගෝල 1-0ක් ලෙස පරාජය කිරීමට Hameed Al Husseinie ක්‍රීඩකයින් සමත් වුනා.

කොළඹ City League ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමු අර්ධය තුළ කැපී පෙනෙන තරග රටාවක් පෙන්නුම් කළත්, ගෝල ලබා ගැනීමට දෙපිලටම හැකි වුනේ නැහැ.

දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය වන තෙක්ම දෙපිලටම ගෝල ලබා ගැනීමට නොහැකි වූ නමුත් 85 වැනි මිනිත්තුවේ දී ජයග්‍රාහී ගෝල රැස් කළේ Hameed Al Husseinie ක්‍රීඩක H.R.A. Nicson විසිනුයි.

85 වැනි මිනිත්තුවේ දී ලැබූ නිදහස් පහරක් සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් ඔහු එම ජයග්‍රාහී ගෝලය රැස් කළා.

ගෝල රැස් කළ ක්‍රීඩකයින්

  • Hameed Al Husseinie: H.R.A. Nicson 85′

TPFC Media Releaseතරගාවලියේ මූලික වටයේ තෝරා ගත් තරග කිහිපයක් සහ අවසන් පූර්ව වටයේ සියලු තරග සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. තරගාවලියේ උණුසුම සමඟ රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<