යුපුන්ගේ ජයග්‍රහණ මල්ලට තවත් ජාත්‍යන්තර ජයක්

Nissolino Roma Sprint Festival 2022

1799

ඉතාලියේ පැවති Nissolino Roma Sprint Festival 2022 තරගාවලියේ පිරිමි මීටර් 150 තරගය ජයග්‍රහණය කරමින් එහි කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් සමත්ව තිබෙනවා.

තරගාවලියේ පිරිමි මීටර් 150 තරගය නියෝජනය කළ යුපුන් එම ඉසව්ව තත්පර 15.37ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් වුනා.

2022 තරග වාරයේ දී යුපුන් මීටර් 150 තරගයකට සහභාගී වූ දෙවැනි වතාව මෙය වූ අතර ඔහු පසුගිය මාසයේ පැවති තරගාවලියක දී තත්පර 15.16ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් වීම විශේෂත්වයක්.

පසුගිය කාලසීමාවේ දී කෙටිදුර ධාවනයෙන් සුවිශේෂී දස්කම් දැක්වූ යුපුන්, 2021 වසරේ පැවති තරගයක දී මීටර් 100 ඉසව්ව තත්පර 10.15ක කාලයකින් අවසන් කරමින් දකුණු ආසියානු වාර්තාව අලුත් කරමින් එම වසරේ පැවති ටෝකියෝ ඔලිම්පික් උළෙලට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම පසුගිය වසර කිහිපයේ දී දැක්වූ දස්කම් නිසාවෙන් ඔහුව මෙම වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ ලබන වසර දක්වා කල් දැමූ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද ඇතුළත්ව සිටිනවා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<