ශ්‍රී ලාංකීය පාපන්දු බිමේ සදා නොමැකෙන මතකයන් පමණක් ඉතිරි කරමින් ආරක්ෂක වළල්ලේ දක්ෂ ක්‍රීඩකයෙක් ලෙසින් සම්මානනීය වූ Duckson Puslas දිවියෙන් සමුගත් පුවත මෙරට පාපන්දු ලෝලීන් ඉතාමත් කනගාටුදායක පුවත් වුනා.
පසුගිය දා පැවති ThePapare පාපන්දු සම්මාන උළෙලේ දී වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා අනුශූරතාව හිමි කර ගත්තේ ද Duckson Puslas වන අතර මිය යන විට ඔහු 31 වැනි වියේ පසු වූවා.
මාලදිවයිනේ දී මීට දින කිහිපයකට ඉහත දී ජීවිතක්ෂයට පත්වූ Puslasගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් මාලදිවයින පොලිසිය හෝ මාලදිවයින පාපන්දු සම්මේලනය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ. නමුත් ජීවිතක්ෂයට පත් හේතුව සිය දිවි නසා ගැනීමක් බවට සැක කෙරෙනවා.

“මේ සිදුවීම් අදටත් විශ්වාස කරන්න බැහැ. අපි හැමෝටම හිතාගන්න බැරිව ඉන්නේ, පියුසට (Duckson Puslas හිතවතුන්ගේ ආමන්ත්‍රණය) මේ වෙච්ච දේ ගැන. ඔහු හැම පැත්තකින් දියුණු වෙච්ච පුද්ගලයෙක් සහ ශක්තිමත් ක්‍රීඩකයෙක්. මානසිකව ද, ශාරීරික යෝග්‍යතාවයෙන් ද, දක්ෂතාවයෙන් ද වගේ හැමදේකින් ම ඉදිරියෙන් සිටි ක්‍රීඩකයෙක්. අනෙක් එක තරගයක දී වගේ ම අනෙක් සෑම අවස්ථාවකමත් අපිවත් Moral එකට ගේන්නෙත් පියුස. එහෙම කෙනෙක්ට මේ වගේ දෙයක් වෙනවා කියන්නේ.., අනේ මන්දා හිතා ගන්නවත් බැහැ”, ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායක කවිඳු ඉෂාන් ThePapare.com සමඟ Puslasගේ මතකයන් අවදි කරන්න උත්සාහ කළේ ඒ විදිහට.
Puslas සමඟ කවිඳුලාගේ මතකය දැනට අවුරුදු කිහිපයකට ඉහත දී වූවක්. Puslas ශ්‍රී ලාංකීය පාපන්දු බිමේ හිදුවන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණ කමිටු සභාපති, වෙන්නප්පුව පාපන්දු ලීගයේ සභාපති සහ වෙන්නප්පුව New Youngs පාපන්දු සමාජයේ සභාපති රෝහිත ප්‍රනාන්දු මහතා.
“Duckson Puslas මට හමුවෙන්නෙ මීට අවුරුදු 16කට විතර කලින්. අපි මන්නාරමේ පාපන්දු Trial එකක් තිබ්බා. ඔහු ඒකට ආවා. එතකොට ඔහු පාසල් යන වයසේ පසුවෙන්නේ. නමුත් විවිධ බාධක හේතුවෙන් ඔහුගේ පාසල් ගමන ක්‍රමානුකූලව සිදු වුනේ නැති බවක් තමයි ඒ දවස්වල පැවසුවේ. ඒත් ඒ වෙද්දී ඔහුගේ එකම ආසාව වෙලා තිබුණේ Football Player කෙනෙක් වෙන එක”, රෝහිත ප්‍රනාන්දු මහතා පැවසුවා.
යලට-මහට පාසල් යන්න හේතු වෙන්නේ Puslasගේ පවුලේ අය එකල මුහුණ දුන්නා වූ දරිද්‍රතාවය. නමුත් ඔහු එහි බිල්ලක් හෝ යටත් වැසියෙක් වූයේ නැහැ. කරදඬු උස් මහත් වූ කාලේ සිට ම කඩිසර කොලු ගැටයෙක් වූ Puslas හැකි සෑම විට ම නිවසේ ආර්ථිකය සවිමත් කරන්න ඉදිරිපත් වුනා.
දන්න කියන වැඩිහිටියන් සමඟ දවස් කුලියට නිවෙස්වල තීන්ත ආලේප කරන්න සහ කුඹුරු වැඩවල අත් උදව්කරුවෙක් ලෙසින් ද එකල Puslas සහභාගී වී තිබෙනවා. හැබැයි ඉතිං ඒ නිසාම පාසල් පොතපත අමතක වෙනවා. නමුත් ඔය අතර පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන්න නම් ඔහු අමතක කරල නැහැ.

මන්නාරමේ සිටි Puslas කොළඹට ගෙන්නන්නේ ඔහුගේ පාපන්දු ක්‍රීඩාවේ වූ දක්ෂතා. ඒවා නිසි පරිදි ගොනු කර ගැනීමට කියා දීම පමණයි කොළඹ සමාජයට තිබුණේ.
“Puslas අවුරුදු 10ක් ම හැදුණේ වැඩුණේ අපේ ගෙදර. ඔහු New Youngs කණ්ඩායමට විශාල ශක්තියක් වුනා. ක්‍රීඩකයන් සමඟ බොහොම සාමකාමීව කටයුතු කළා. පුහුණුවීම්වලදීත්, තරගවලදීත් ඔහු උපරිමයෙන් ම කළා. Puslasගේ ඒ උත්සාහය සහ උනන්දුව නිසා ම ක්‍රමානුකූලව ලංකාවේ හොඳම පාපන්දු ක්‍රීඩකයා බවට ඔහුව පත් කරන්න අපිට හැකි වුනා.”
මන්නාරමේ සිට කොළඹ පැමිණි Puslas 2018 අවුරුද්දේ දී පළමු වරට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සුදුසුකම් ලබනවා. එ වෙද්දී ඔහු තෙවතාවක් ම පුහුණු සංචිත සඳහා සුදුසුකම් ලැබූවත්, ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූයේ නැහැ. නමුත් ඒ පිළිබඳව ඔහුගේ සිත් බිඳීමක් සිදුව තිබෙනු කිසිදු අවස්ථාවක කිසිවෙක් දැක තිබුණේ නැහැ. Puslas ඒ තරමට ම මනස දියුණු කරගෙන සිටි කෙනෙක්.
“ශ්‍රී ලංකා කණ්ඩායමට තේරුණාට පස්සේ Puslas තව තවත් මහන්සි වෙමින් පුහුණුවීම් කළා. ඔහු සෑම තරගයක් ම දිනන්න ආස කළා. තරගයක් පරාජය වුනොත් ඒ ගැන ගොඩක් පසු තැවුණා. වැරදුණ තැන් ගැන හැමෝමත් සමඟ ම කතා කළා. ඒ තැන් නිවැරදි කර ගන්න ආකාරය ගැන හැම කෙනෙක් සමඟ ම කතා කළා. එහෙම කෙනෙක් තමයි අපිට නැති වුනේ”, රෝහිත ප්‍රනාන්දු මහතා Puslasගේ මතකයන් සංවේගයන් යුතුව අප සමඟ පැවසුවේ එලෙසින්.
- “ජෝ රූට්ට බෝල් කරන්න තමයි ගොඩක් අමාරු වුනේ” – දිල්රුවන් පෙරේරා
- පත්තරෙන් උපන් ආසාවෙන් ආසියාවත් ජය ගත් දැල්පන්දු ජයසූරිය
- මිකී ගැන නොකී කතා!
- අංශක තුන්සිය හැටේ ක්‍රිකට් මිනිසා ඩිවිලියර්ස්!
- අමරණීය මතක සමඟින් දිවි ඉනිම නිමා කළ ප්‍රථම ටෙස්ට් නායකයා
Puslas ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වූ සිව් වසරක කාලයේ දී වඩාත් කතාබහට ලක් වෙන්නේ 2021 SAAF තරගාවලියේ පෑ දක්ෂතා හේතුවෙන්. එම තරගාවලියේ ඉන්දියාව සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ වසර 18කට පසුව එවැනි ප්‍රතිඵලයක් වාර්තා වූ පළමු අවස්ථාව. එම තරගයේ දී Puslas පෑ දක්ෂතා හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරෙනවා.

මේ තරගාවලියේ පෑ දක්ෂතා හේතුවෙන් TC Sports Club කණ්ඩායමට වඩා වැඩි මුදලකට Puslasගේ දක්ෂතා මිල දී ගැනීමට මාලදිවයින් Valencia කණ්ඩායම ඉදිරිපත් වුනා. ඒ අනුවයි Puslas අවසාන වතාවට මාලදිවයිනට යන්නේ.
“පියුස බලාපොරොත්තු රාශියක් ඇතුවයි Valencia සමඟ එක් වුනේ. මමත් මාලදිවයින් යන්න හිටියේ. ඒ වෙනත් ක්‍රීඩා සමාජයකට. නමුත් මගේ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඒක මඟ හැරුණා. ඒත් පියුස කිව්වේ ඉක්මනට එන්න කියලා. මොකද පියුසට ලොකු බලාපොරොත්තුවක් තිබුණා ලංකාවේ අය වැඩි දෙනෙක්ට එහේ සෙල්ලම් කරන්න ගෙන්න ගන්න. ‘අපේ රටේ අනාගතයට හොඳයි. අපි තව Playersලා මෙහේට ගෙන්න ගමු’ කියලයි පියුස නිතර ම කිව්වේ”, නැවත වතාවක් Puslasගේ තොරතුරු කතා කිරීමට එක් වුනේ කවිඳු ඉෂාන්.
එසේ වූ බලාපොරොත්තු රාශියකින් සිටි Puslas කිසිවෙක්ටත් සිතා ගන්න බැරි ලෙසින් ජීවිතය හැර යනවා. ඒ හැර යෑම සෑම කෙනෙක් තුළ ම ප්‍රශ්නයක් ඉතිරි කරන්නක් වෙලා. ඔහුගේ යහළු මිත්‍රයන්, හිතවතුන් කිසිවෙකුටත් ඒ ගැන ප්‍රකාශ කරන්නට තරම් නිශ්චිත පිළිතුරක් නෑ.
“පියුස කාගෙත් හිත දිනාගෙන හිටි කෙනෙක්. ගති ගුණවලින් වුනත් කාටවත් කරදරයක් වෙන විදිහට වචනයක් වත් කිව්වේ නැහැ. ඒත් ඉතිං, ක්‍රීඩකයන්ගේ අඩු-පාඩු, අසාධාරණකම් වෙනුවෙන් පෙනී සිටියා. පුහුණුවීම්ල දී හෝ තරගයක දී තමන්ගේ මතයක් ප්‍රකාශ කරන්න පසුබට වුනේ නැහැ. අවශ්‍ය තැන දී අවශ්‍ය උත්තරය දුන්නා. කෙළින් තීරණ ගත්තා, ඒ තීරණ වෙනුවෙන් පෙනී සිටපු කෙනෙක් පියුස කියන්නේ. ඒත් ඉතිං එහෙම කෙනෙක්ට මෙහෙම දෙයක් වෙයි කියල කොහොම විශ්වාස කරන්න ද?”
Puslas මාලදිවයින් පාපන්දු ලීග් තරගාවලියේ තරග කිහිපයක දී ම හොඳම ක්‍රීඩකයා බවට ද පත් වෙනවා.

Puslasගේ තොරතුරු විමසීමේ දී ඔවුන් සෑම විට ම ප්‍රශ්නය අවසන් කරන්නේ තවත් ප්‍රශ්නයකින්. ඒ ඔහුගේ නික්ම යෑමේ ප්‍රශ්නකාරීත්වයෙන්. මෙතෙක් එරටින් ලැබෙන ආරංචි මාර්ග අනුව පැවසෙන්නේ Duckson Puslasගේ සිරුර තවත් දින දෙක තුනක දී මෙරටට රැගෙන එන බවයි.
මිය ගිය Duckson Puslasට උපරිමයෙන් අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙන්ම ඔහුගේ හිත මිතුරන් ද මේ වන විට සංවිධානය වෙමින් පසු වෙනවා. කොළඹ දී මෙන් ම මන්නාරමේ දී ද ඔහුගේ නිසල දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු යාපනයේ දී සිදු කිරීමටයි නියමිතව තිබෙන්නේ.

“පියුස කියන්නෙ ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහුට සම කරන්න හැකි ක්‍රීඩකයෙක් ලෙහෙසියෙන් බිහි වෙන්නෙ නැහැ. ඔහුගේ අඩුව කාලයක් යන තුරු තියේවි. දරාගන්න බැරි, අපිට හැමදේක ම හොඳ කියල දුන්න පියස, තමන්ගේ ප්‍රශ්නයක දී මෙහෙම කර ගත්ත එකයි”, කවිඳු ඉෂාන් ThePapare.com සමඟ Puslasගේ මතක ගබඩාවෙන් බිඳක් අප සමඟ බෙදා ගත්තේ ඒ අයුරින්.
Duckson Puslas ඔබ පැතූ සැනසුම මෙය වේ නම්, ඔබේ ගමනට අපේ සංවේගය මුසු සුබ පැතුම්!
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















