සුපිරි ලීගයේ උණුසුම විඳගන්න සූදානම් වෙන්න

Super League 2021

151

ශ්‍රී ලංකා පාපන්දු පිටියේ දියත් වන නවතම තරගාවලිය වන “Super League 2021” පාපන්දු තරගාවලියේ ප්‍රධාන වටයේ තරග හෙට (19) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙරට පළමු වෘත්තීය පාපන්දු ලීගය වන මේ සඳහා දේශීය ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මෙන්ම ජපානය, මොරොක්කෝව සහ අයිවරිකොස්ට් වැනි විදේශ රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගී වේ. 

තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරග වැදීමට නියමිත ඇති අතර එම කණ්ඩායම්වලට තරගාවලියට සූදානම් වීමට පූර්ව තරග වටයක් පැවැත්වීමට ද පාපන්දු සම්මේලනය කටයුතු කළා.

තරගාවලියේ දී එක් එක් කණ්ඩායම් අනෙකුත් කණ්ඩායම් සියල්ල සමඟින් තරග වැදීමට නියමිතව ඇති අතර එම වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම ලීගයේ ශූරයන් ලෙස අභිෂේක ලබයි.

මෙම තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් සියල්ලට මුදල් ත්‍යාග ලබා දීමට කටයුතු කරන අතර ශූරයන්ට රුපියල් මිලියන 5ක් සහ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන 3.5ක් හිමි වේ.

Super League සමාරම්භක උළෙලේදී

එමෙන්ම තෙවැනි ස්ථානය සඳහා රු. මිලියන 2.75ක්, සිව්වැනි ස්ථානයට රු. මිලියන 2.5ක්, පස්වැනි ස්ථානයට රු. මිලියන 2.25ක්, හයවැනි ස්ථානයට රු. මිලියන 2ක්, හත්වැනි ස්ථානයට රු. මිලියන 1.75ක්, අටවැනි ස්ථානයට රු. මිලියන 1.5ක්, නවවැනි ස්ථානයට රු. මිලියන 1.25ක් සහ අවසන් කණ්ඩායමට රු. මිලියනයක ත්‍යාග මුදලක් ලබා දීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ප්‍රකාශ කළේ,

“ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය පාපන්දු ලීගය රටේ පාපන්දු ක්‍රීඩාව සංවර්ධනය කිරීමට අවශ්‍ය වේදිකාව නිර්මාණය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙම තරගාවලිය විශේෂ ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීමට අනුමැතිය ලබා දීම සහ පළමු වාර දෙක සඳහා අරමුදල් ලබා දීම පිළිබඳව අපි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ස්තුතිය පුද කරනවා.

තරගාවලියේ පළමු වාර ද්විත්වය සඳහා කණ්ඩායම් දහයක් සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් අප්‍රේල් 19 වැනිදා සිට පිටියේත් පිටියෙන් පිටටත් සාධාරණ ලෙස තරග වැදී සුවිශේෂී පාපන්දු තරග කිහිපයක් දැක ගැනීමට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.”

තවත් පාපන්දු පුවත්: 

එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා ප්‍රකාශ කර සිටියේ, 

“ශ්‍රී ලංකා පළමු වෘත්තීය පාපන්දු ලීගයේ සමාරම්භක උත්සවය දැක ගැනීමට ලැබීම ගැන පිළිබඳව මම සතුටට පත්වෙනවා. මේ තුළින් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව වෙනත් යුගයක් බවට පරිවර්තනය කරනු ඇත. පසුගිය වසර තුනක කාලයේ Super League නිර්මාණය කිරීමට ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට හැකි වීම පිළිබඳව මම ආඩම්බර වෙනවා.”

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය හෙට (19) සවස 4.30ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<