වසරේ මලල ක්‍රීඩකයා තේරීමේ සටනට 10 දෙනෙක්

132
World Athletics Announces Nominees

මෙම වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේ” වසරේ මලල ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශිත නාම ලැයිස්තුව ඊයේ (02) ප්‍රකාශයට පත් කරන ලදි.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසර තුළ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් දැක්වීමට විශාල අවස්ථාවක් හිමි නොවූ නමුත් මෙම වසර තුළ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ, ක්‍රීඩාවේ නිරත වෙන ලෝක මහද්වීප 6න් තෝරාගත් ක්‍රීඩකයන් 10 දෙනෙකු මෙම සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

Donavan Brazier (USA)

ඇමරිකාව නියෝජනය කරන මැදිදුර ධාවක Donavan Brazier මෙම වසරේ මීටර් 800 ඉසව්වේ ගෘහස්ථ (මිනිත්තු 1:44.22) සහ එළිමහන් (මිනිත්තු 1:43.15) කාණ්ඩයේ වසරේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු සහභාගි වූ තරග 7න් සියල්ලම ජය ගැනීමට ඔහු සමත්ව තිබුණි.

Joshua Cheptegei (Uganda)

දිගුදුර ධාවන පිටියේ ඉහළ දස්කම් දක්වන උගන්ඩා ජාතික Joshua Cheptegei මෙම වසරේ දී මීටර් 5000 (මිනිත්තු 12:35.36), මීටර් 10,000 (මිනිත්තු 26:11.00) සහ මාර්ග කිලෝමීටර් 5 (මිනිත්තු 12:51) යන ඉසව්වන්හී ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර ප්‍රථම වරට අර්ධ මැරතන් ඉසව්ව නියෝජනය කරමින් ලෝක අර්ධ මැරතන් තරගයේ දී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට ද ඔහු සමත් විය.

Timothy Cheruiyot (Kenya)

කෙන්යානු ජාතික මීටර් 1500 ශූර Timothy Cheruiyot එම ඉසව්ව මිනිත්තු 3:28.45ක කාලයකින් අවසන් කරමින් මෙම වසරේ එම ඉසව්ව සඳහා වාර්තා වූ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූ අතර මෙම වසර තුළ ඔහු සහභාගි වූ තරග තුනම ජය ගැනීමට ද සමත් විය.

Ryan Crouser (USA)

යගුලිය විසිකිරීම ඉසව්වේ ඇමරිකානු ශූර Ryan Crouser මෙම වසර තුළ දී එම ඉසව්වේ මීටර් 22.91ක දස්කමක් පෙන්නුම් කරමින් වසරේ හොඳම දක්ෂතාවය මෙන්ම, මෙතෙක් වාර්තා වූ තෙවැනි හොඳම දුර සම කිරීමට සමත් වූ අතර තරගාවලි 10ක් තුළ දී සිය අපරාජිකත්වය රැකගැනීමට ද ඔහු සමත් විය.

Mondo Duplantis (Sweden)

මෙම වසරේ මලල ක්‍රීඩා පිටියෙහි වඩාත්ම කතාබහට ලක් වූ ක්‍රීඩකයා වන ස්විඩන් ජාතික රිටි පැනීමේ ශූර Mondo Duplantis මෙම වර්ෂය තුළ දී දෙවරක්ම එම ඉසව්වේ ලෝක වාර්තාව බිඳ හෙලීමටත් (මීටර් 6.17 සහ මීටර් 6.18), එළිමහන් රිටි පැනීමේ ඉසව්වෙහි මෙතෙක් වාර්තාව වූ හොඳම දක්ෂතාවය (මීටර් 6.15) දැක්වීමටත් සමත් වූ අතර මෙම වසර තුළ දී ඔහු සහභාගි වූ තරගාවලි 16 ම ජය ගැනීමටත් ඔහු සමත් විය.

Jacob Kiplimo (Uganda)

දිගුදුර පිටියේ මේ දිනවල සුපිරි දස්කම් දක්වන උගන්ඩා යොවුන් ක්‍රීඩක Jacob Kiplimo මෙම වසරේ පැවති ලෝක අර්ධ මැරතන් තරගය නව තරගාවලි වාර්තාවක් ද (මිනිත්තු 58:49) සමඟින් ජය ගැනීමට සමත් වූ අතර මීටර් 3000 ඉසව්ව තත්පර 7:26.64ක කාලයකින් අවසන් කරමින් මෙම වසර තුළ වාර්තා වූ හොඳම කාලය මෙන්ම 2007 වසරෙන් පසු එම ඉසව්වට වාර්තා වූ හොඳම කාලය වාර්තා කිරීමට ද සමත් විය. 

තවත් මලල ක්‍රීඩා පුවත්:

Noah Lyles (USA)

කෙටිදුර ධාවන පිටියේ වඩාත්ම කතාබහට ලක්වන ඇමරිකානු ක්‍රීඩක Noah Lyles මීටර් 200 ඉසව්ව තත්පර 19.76කින් අවසන් කරමින් මෙම වසරේ වාර්තා වූ හොඳම කාලය වාර්තා කළ අතර ඔහු සහභාගි වූ තරගාවලි සියල්ලේම මීටර් 200 ඉසව්ව ජය ගැනීමට ද සමත් විය.

Daniel Stahl (Sweden)

ස්විඩන් ජාතික මලල ක්‍රීඩක Daniel Stahl කවපෙත්ත විසි කිරීමේ ඉසව්වෙහි මෙම වසර තුළ සහභාගි වූ තරග 19න් 17ක් ජය ගැනීමට සමත්ව තිබූ අතර එම ඉසව්වේ මීටර් 71.37ක දස්කමක් දක්වමින් වසරේ හොඳම දක්ෂතාවය වාර්තා කිරීමට ද ඔහු සමත් විය.

Johannes Vetter (Germany)

ජර්මන් ජාතික හෙල්ල විසිකිරීමේ ශූර Johannes Vetter එම ඉසව්වෙහි මෙම වසර තුළ මීටර් 97.76ක දස්කමක් පෙන්නුම් කරමින් වසරේ හොඳම දුර වාර්තා කිරීමට සමත් වූ අතර ඔහු මෙම වසර තුළ දී සහභාගි වූ තරග නවයෙන් අටක්ම ජය ගැනීමට ද සමත්ව තිබුණි.

Karsten Warholm (Norway)

මෙම වසර තුළ මලල ක්‍රීඩා පිටියෙහි වඩාත්ම කතාබහට ලක් වූ මලල ක්‍රීඩක Karsten Warholm මීටර් 300 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 33.78ක කාලයකින් අවසන් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර මීටර් 400 කඩුලු පැනීමේ තරග නවයකට සහභාගි වී එම සියල්ලම ජය ගැනීමට සමත් වූ ඔහු එම ඉසව්ව තත්පර 46.87ක කාලයකින් අවසන් කරමින් වසරේ හොඳම කාලය මෙන්ම මෙතෙක් වාර්තා වූ දෙවන හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව මෙම ක්‍රීඩකයන් අතරින් මනාප ක්‍රමයක් ඔස්සේ අවසාන වටයට ක්‍රීඩකයන් පස් දෙනෙකු තෝරාගැනීමට නියමිතව ඇති අතර මෙය පිළිබඳව දැනුම් දෙමින් ලෝක මලල ක්‍රීඩා සංගමය සඳහන් කර තිබුණේ ක්‍රම තුනක් ඔස්සේ සිදු කරන මනාප විමසීමකින් පසු අවසාන තරගකරුවන් තෝරාගැනීමට නියමිත බවයි.

“ලෝක මලල ක්‍රීඩා කවුන්සිලයේ සහ එහි අනෙකුත් සාමාජිකයන්ගේ මනාප ඔවුන්ට විද්යුත් තැපෑල මගින් ප්‍රකාශ කිරීමට හැකි වන අතර අනෙකුත් සියල්ලන්ටම ලෝක මලල ක්‍රීඩා සංගමයේ සමාජ මාධ්‍ය ඔස්සේ පලවන එක් එක් ක්‍රීඩකයාට අදාළ රූප සටහන් ඔස්සේ සිය මනාපය පල කිරීමට හැක” යැයි වැඩි දුරටත් සඳහන් කර තිබුණි.

මෙම මනාප පලකිරීම මෙම මස 15 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති අතර ඉන්පසුව ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අවසන් වටයට තේරී පත්වන ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ප්‍රකාශයට පත් කරනු ඇත.

පසුව එම අවසන් වටයට තේරී පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් වසරේ මලල ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස තේරී පත්වන අයවලුන් දෙසැම්බර් 05 වැනි දින පැවැත්වීමට නියමිතව ඇති ලෝක මලල ක්‍රීඩා සම්මාන රාත්‍රියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති අතර මෙවර සම්මාන උළෙල සඳහා තේරී පත්වූ ක්‍රීඩිකාවන්ගේ නාම ලැයිස්තුව අද (03) ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<