“මාලිංගගේ අඩුව පුරවන්න අමාරුයි” – රෝහිත් ශර්මා

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

946
Malinga

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධානම වේගපන්දු යවන්නා වන ලසිත් මාලිංග 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී නොවීම සිය කණ්ඩායමට විශාල පාඩුවක් බව එහි කණ්ඩායම් නායක රෝහිත් ශර්මා පවසා සිටියි.

ලසිත් මාලිංග පෞද්ගලික හේතුවක් මත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී නොවන බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව මාලිංගගෙන් හිස්වන වේගපන්දු බලඇණියේ ස්ථානය සඳහා ඕස්ට්‍රේලියා වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් නම් කර ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

“මාලිංග නැති පාඩුව මකන්න බැරි පාඩුවක්, ඔහු වසර ගණනාවක් තිස්සේ අපේ කණ්ඩායම එක්ක ඉඳලා අපේ කණ්ඩායමේ ජයග්‍රහණ රැසක් සඳහා දායක වෙලා තියෙනවා. ඔහු සැබෑම තරග දිනවන්නෙක්. ඒ වගේ ක්‍රීඩකයින් හොයා ගන්න හරිම අඩුයි. ඔහු අපේ කණ්ඩායම තුල විතරක් නෙමෙයි ශ්‍රී ලංකා කණ්ඩායම තුලත් ඒ දස්කම් ඒ විදිහටම පවත්වා ගෙන තිබෙනවා” මුම්බායි නායක රෝහිත් ශර්මා සිය කණ්ඩායමේ වැඩසටහනක් සඳහා සහභාගී වෙමින් පවසන ලදි.

“තරගයේ තීරණාත්මකම මොහොතක් ආවොත් මම ඔහුගේ අතට තමයි පන්දුව දෙන්නේ, ඔහු සතුව තිබෙන අත්දැකීම් ප්‍රමාණය කියලා නිම කරන්න බැහැ. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. අවාසනාවන්ත ලෙස අපිට ඔහුගේ දායකත්වය මේ තරග වාරය සඳහා ලැබෙන්නේ නැහැ. ඒ ඔහුගේ පුද්ගලික හේතුවක් නිසා. අපි මාලිංග නැති නිසා ඒ වෙනුවෙන් ආදේශ කරන්න ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ගැනම හොයලා බැලුවා. ඒත් මාලිංග වගේ අත්දැකීම් තිබෙන පරිණත ක්‍රීඩකයෙක් හොයා ගන්න බැහැ. ඒක කරන්න බැරි වැඩක්. ඔහුව කිසිම ක්‍රීඩකයෙක් එක්ක සංසන්දනය කරන්න බැහැ. මාලිංගගේ විදිහ ඔහුටම ආවේණිකයි” යැයි ශර්මා එම හමුවේ දී වැඩිදුරටත් පැවසීය.

පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා සිටියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි. එහි දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවසන් ඕවරයේ දී ලකුණු 9ක් අවශ්‍ය වී තිබුණි.

අවසන් තරගයේ තීරණාත්මක අවසන් ඕවරයේ වගකීම මාලිංග හට පැවරී තිබුණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ මාලිංග එම ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීමට සමත් විය. ඒ මුම්බායි කණ්ඩායමේ සිව්වැනි ශූරතාවයයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භයේ දී සිය ප්‍රධාන තුරුම්පුවක් වන මාලිංග නොපැමිණීම වත්මන් ශූරයින්ට විශාල අභියෝගයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

2009 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල බිහි වූ විශිෂ්ටතම පන්දු යවන්නා ලෙස සැලකේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල තරග 122කට ක්‍රීඩා කර ඇති ලසිත් මාලිංග එහි දී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 170කි.

13 වසරක ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසය තුල වඩාත් සාර්ථකම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිව් වතාවක් ශූරතාව දිනා ගැනීමට සමත් විය. එම අවස්ථාවල දී ලසිත් මාලිංග ඉටු කළ කාර්‍යභාරය අසමසමය.

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා සිට නොවැම්බර් මස 10 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<