ඩන්කන්ට් වයිට්ට සහ සුසන්තිකා ජයසිංහට පසුව මෙරට මලල ක්‍රීඩාවට ඔලිම්පික් මට්ටමේ පදක්කමක් ගෙන දෙමින් 2018 වසරේ පැවති යොවුන් ඔලිම්පික් තරගාවලියේ දී “2000m Steeplechase” ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් ලාංකීය නාමය නැවතත් ජාත්‍යන්තර තලයේ රැඳූ ඇය නමින් පාරමි වසන්ති මාරිස්ටෙලා ප්‍රනාන්දුය.

Photo Story – ලාංකීය මලල ක්‍රීඩාවට පෑයූ නව අරුණැල්ල

2001 වසරේ මැයි 28 වැනිදා හලාවත, අඹකඳවිල දී උපත ලැබූ පාරමි කුඩා කල සිටම බොහෝ දුෂ්කරතා ජය ගනිමින් ඉතාමත් කැපවීමෙන් ක්‍රීඩා කටයුතු සිදු කරමින් දිනෙන් දින ප්‍රගතිශීලී දක්ෂතා දක්වන ක්‍රීඩිකාවකි. 

සුසන්තිකා ජයසිංහගෙන් පසු මෙරටට ඔලිම්පික් මට්ටමේ පදක්කමක් ගෙන ඒමට සමත් වූ ඇය මෙරට මලල ක්‍රීඩා නාමය නැවතත් ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළින්ම රැඳවීමට හැකියාව ඇති ක්‍රීඩිකාවන් අතලොස්සෙන් අයෙකි.

මෙවර Photo Story ලිපිය වෙන්වන්නේ පාරමි වසන්ති මෙතෙක් ආ ගමන පිළිබඳව කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි. 

1) දේශීය සහ ජාත්‍යන්තර කනිෂ්ඨ පිටියේ දස්කම් 

තම වැඩිමහල් සොහොයුරියගේ අඩිපාරේ යමින් කුඩා කල සිටම පාසල් පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් පාරමි 2016 වසරේ පැවති ආසියානු ළමා ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වන අතර එහි දී 2000m steeple chase ඉසව්වේ රිදී පදක්කමත්, 400×4 සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට ඇය සමත් විය.


2) අනෙකුත් දස්කම් කලඑළි බැසීමක්‍රීඩා දිවිය අරම්භ කර කෙටි කලකින්ම හිමොග්ලොබීන් ඌණතාවක් හට ගැනීම නිසා ඇය දිගු දුර ධාවන ඉසව්වලින් ඉවත් වී කෙටි දුර ධාවනයට අවතීර්ණ වීමට තීරණය කළාය. ඒ අනුව 2017 වසරේ සමස්ත ලංකා පාසල් තරගාවලියේ දී කෙටි දුර ධාවන ඉසව් නියෝජනය කළ පාරමි 100m කඩුලු පැනීම ඉසව්වෙන් රිදී පදක්කමත්, 300m ඉසව්වෙන් ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත් විය.

ඒ සමඟම රග්බි ක්‍රීඩාවේ ද දස්කම් දැක්වීමට ඇය සමත් වීම නිසාවෙන් 17න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කාන්තා 17න් පහළ කණ්ඩායම ද තේරී පත්වීමට ඇයට හැකි විය.


3) නැවතත් දිගුදුර ධාවනයට 

කෙටි කලක් දිගුදුර ධාවනයෙන් ඉවත්ව සිටි ඇය 2018 වසරේ මුල සිට නැවතත් දිගුදුර ධාවන ඉසව්හි පුහුණු වීම් ආරම්භ කරන අතර පාසල් පට්ටමේ දී දැක්වූ දස්කම් නිසාවෙන් එම වසරේම පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සහභාගි වීමට වරම් ලබමින් එම  තරගාවලියේ 3000m ඉසව්වේ (මිනිත්තු 10:37:49) සහ 800m ඉසව්වේ (මිනිත්තු 2:13:85) රන් පදක්කම් දිනා ගැනීමට පාරමී සමත් විය. 

පසුව තම සුපුරුදු ඉසව්ව වන 2000m Steeplechase ඉසව්ව නියෝජනය කළ පාරමි එම තරගය මිනිත්තු 6:59.63ක කාලයකින් අවසන් කරමින් නව තරගාවලි වාර්තාවක් ද සමඟින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

Photo Story: අතීතය – අනාගතය යා කරන කුලවංශයන්


4) දකුණු ආසියානු තලයේ දී අසමත් වීම 

ජාතික කනිෂ්ඨ පිටියේ දැක්වූ දස්කම් නිසාවෙන් 2018 වසරේ පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වීමට තේරී පත්වීමට පාරමී සමත් විය. එම තරගාවලියේ දී 800m ඉසව්ව මිනිත්තු 2:11.79ක කාලයකින් ද, 3000m ඉසව්ව මිනිත්තු 10:24.44ක කාලයකින් ද අවසන් කරමින් දෙකෙහිම සිව්වැනි ස්ථානය දිනා ගන්නේ තම පදක්කම් බලාපොරොත්තු සුන් කරගනිමිනි.


5) ආසියානු ශූරිය බවට පත්වීම 

යම් පසුබෑමකට ලක්වූ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් පසුව එම වසරේම පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නියෝජනය කළ ඇය එහි දී 3000m Steeplechase ඉසව්ව මිනිත්තු 10:21.54ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වට අදාළ ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව ද අලුත් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.


6) ලෝක ශූරියන් සමඟින් කරට කර 

ආසියානු තලයේ දැක්වූ දස්කම් නිසාවෙන් 2018 වසරේ පැවති වයස අවුරුදු 20න් පහල යොවුන් ලෝක ශූරතා තරගාවලියට සහභාගි වීමට වරම් ලද පාරමි එම තරගාවලියේ 3000m Steeplechase ඉසව්වේ මුල් අදියර මිනිත්තු 10:20.12ක කාලයක් වාර්තා කරමින් පස්වැන්නා ලෙස නිමා කිරීමට සමත් විය.

Photo Story – දිගනෙන් බිහි වූ පුංචි සෙබළිය


7) යොවුන් ඔලිම්පික් මට්ටම ජය ගැනීම 

2018 වසරේ පැවති යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලියේ දී 2000m Steeplechase ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් යොවුන් ඔලිම්පික් උළෙල සඳහා තේරී පත්වීමට ඇය සමත් විය.

එම තරගාවලියේ 2000m Steeplechase ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ ඇය තරගය මිනිත්තු 6:33.06ක කාලයකින් අවසන් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වන්නේ යොවුන් ඔලිම්පික් උළෙලක දී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ප්‍රථම ලාංකික ක්‍රීඩිකාව ලෙස ඉතිහාස ගත වෙමිනි.


8) ඔලිම්පික් ශූරියව මහත් හරසරින් පිළිගැනීම 

යොවුන් ඔලිම්පික් තරගාවලියේ ජයග්‍රහණයෙන් අනතුරුව දිවයිනට පැමිණි පාරමි ඇතුළු කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන් පිළිගැනීමේ පර්යන්තයේ දී මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදි.

යොවුන් ඔලිම්පික් උළෙලේ සිටම යම් ආබාධයකින් පීඩා විදි ඇය පසුව ප්‍රතිකාර සඳහා පිටියෙන් ඉවත් වීමට තීරණය කළාය. මේ වන විට ඇය නැවතත් තම පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති අතර හැකි ඉක්මනින් ක්‍රීඩා පිටියට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

තවමත් 19 වැනි වියේ පසුවන පාරමි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට ඉතා විශාල හැකියාවක් ඇති දක්ෂ ක්‍රීඩිකාවකි. 

නිරන්තරයෙන් ඇයගේ මග හරස් කරන ආබාධවලින් මිදී ලාංකීය ධජය නැවත වරක් ඔලිම්පික් උළෙලක දී ගරුත්වයට පත්කරන්නට ඇයට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ පතන්නෙමු

තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<