ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය මෙවර කොළඔදී

972

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන සහ අවසාන අදියර මේ සති අන්තයේ (15 සහ 16 දෙදින) කොළඔ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

පසුගිය ලිපි: ආසියානු යොවුන් රග්බි ක්‍රීඩකයන්ගේ කල එලි බැස්ම

ධනුශ්ක රංජන්ගේ ප‍්‍රබල නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා පිල 1 වන සහ 2 වන අදියරයන් අවසන් කලේ අනුශූරයින් ලෙසයි. ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය ලෙස පැවති ජාතික රග්බි පාලන මණඩලය, ශ‍්‍රී ලංකා රග්බි ලෙස නිල වශයෙන් නම් කිරීමට අදාල කටයුතු ද මීට සමගාමීව සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. පසුගිය වර්ෂයේදී මෙන් මෙවරත් තරඟාවලිය ඉතා සාර්ථක අන්දමින් පැවැත්වීමට ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ උප සභාපති ලසිත ගුණතිලක මහතා සහ එහි විධායක අධ්‍යක්ෂක රොහාන් ගුණරත්න මහතා විසින් කටයුතු සකසා ඇති බව වාර්තා වේ.

හොංකොං සහ දකුණු කොරියාවේ පැවති පෙර අදියර දෙකෙහි දීම සිය ජයග‍්‍රහණය වාර්තා කල හොංකොං පිල දැනට ශ‍්‍රී ලංකාවට එරෙහිව ප්‍රසාද ලකුණු 24ට 20ක් ලෙස ඉදිරියෙන් පසුවේ. එලෙසම හොංකොං පිලට මෙම තරගාවලිය තුලදී තරගාවලියේ සමස්ථ ජයග‍්‍රහණය ලැබීමට 90%ක ප‍්‍රතිශතයක් ද ඇත. මේ අනුව දැනටමත් ඔවුන් සමස්ථ ශූරතාවලියේ ජයග‍්‍රාහකයන් බවට පත්වන බව සනාථ කොට හමාරය.

ශ‍්‍රී ලංකාවට ඔවුන් පරදා ජයග‍්‍රහණය ලැබීමට ඇති එකම අවස්ථාව වන්නේ මෙවර කොළඹදී පැවැත්වෙන අවසාන අදියරේ තරගයෙන් හොංකොං පිල පරදවා ශූරතාවය දිනා ගැනීම පමණි. නමුත් පවතින තත්වය යටතේ එය කිසිවිටෙකත් සිදුවිය නොහැක්කක් බව පෙනී යයි.

හොංකොං පිල දකුණු කොරියාව හා ජපානය සමඟින් සටන් බිමට පිවිසුනද ජපන් කණ්ඩායම තවමත් ආධුනික කණ්ඩායමක් වන හෙයින් ප‍්‍රබල සටනක් පවතිනු ඇත්තේ දකුණු කොරියානු පිල සමඟයි. එලෙසින්ම මෙයට දෙසතියකට පෙර කණ්ඩායම් ගැටුමේදී හොංකොං පිල 21ට 28ක් ලෙස පරාජයට පත් කල එකම කණ්ඩායමද දකුණු කොරියානු කණ්ඩායම වේ.

කෙසේ නමුත් පළමු අදියරේදී හොංකොං පිලට ප‍්‍රබල බලපෑමක් ඇති කල ජේසන් දිසානායක සහ කෙවින් ඩික්සන් හට අවාසනාවකට මෙන් දකුණු කොරියාවේ පැවති දෙවන අදියරේදී සිදුවූ ආබාධ තත්වයක් නිසා ඔවුන් දෙදෙනාටම තරඟයෙන් ඉවත් වීමට සිදු විය.

පසුගිය ජූනි මාසයේදී මොනොකෝ හිදී පැවති සත් සාමාජික තරඟාවලියේදී මැණික් කටුවේ අස්ථි බිදීයාමකට ලක් වූ සුදර්ශන මුතුතන්ත‍්‍රී මේ වන විට සුවය ලබා සිටින අතර, ඔහුගේ සහය කණ්ඩායමට ලබා ගැනීමේ හැකියාවක්ද මේ වන විට උදා වී පවතී. කෙසේ වුවත් තේරීම් කමිටු සභාපති මයිකල් ජයසේකර මහතා පවසන්නේ මුතුතන්ත‍්‍රී නැවත කණ්ඩායමට එක් වුවද ධනුශ්ක රන්ජන් දිගටම කණ්ඩායමේ නායකත්වය උසුලනු ඇති බවයි.

ඔබට මෙම තරඟ සජීවීව ThePapare.com ඔස්සේ ඔබේ ආලින්දයට ගෙන ඒමට කටයුතු කරන අතර සෙනසුරාදා (15) උදෑසන 10.50ට සහ ඉරිදා (16) මධ්‍යහන 12.35 ට තරඟ ආරම්භ වනු ඇත.

පිටරට සිටින ක‍්‍රීඩා ලෝලීන්ට මෙම අවස්ථාව Rugbypass.com ඔස්සේ නැරඹිය හැකි අතර නවසීලන්තයේ වෙසෙන ක්‍රීඩාලෝලීන්ට පමණක් Sky Sports ඔස්සේ ක‍්‍රීඩා තරඟ නැරඹීමේ අවස්ථාව සැලසේ.

ඔබ සිතන ආකාරයට ශූරතාවය දිනාගනු ඇත්තේ කුමන කණ්ඩායම විසින්ද, ඔබේ මතය ඉහත ඇති මත විමසුමට එකතු කරන්න.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට