බීච් වොලිබෝල්, මලල ක්‍රීඩා පිටියෙන් 2019 වර්ණවත් වෙයි

160

2019 වසර නිමා වූයේ ජය පරාජය, සිනහව කඳුල හා නව බලාපොරොත්තු රැසක් සමඟිනි. ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් පුරා වසරක් මාධ්‍ය වාර්තාකරණයේ නිරත වූ ThePapare.com නිමා වූ 2019 වසර පිළිබඳව කරන ආවර්ජනයකි මේ. 

ලෝක කුසලානය ජපන් ගිය, හැව්ලොක් – මහනුවර ඇවිළුණු 2019

රග්බි ලෝක කුසලානයක අමතක නොවන අත්දැකීම් සමඟින් ගෙවුණු 2019 ශ්‍රී ලංකා රග්බි…

මලල ක්‍රීඩා

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට මෙම වසර ඉතාමත් සුවිශේෂී වසරක් වූ අතර ඔවුන් දකුණු ආසියානු මලල ක්‍රීඩා කිරුළ තමන් සතුකර ගනිමින් මෙම වසර නිමා කළේය. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම වසර තුල දී කැපී පෙනෙන දස්කම් ‍රැසක් දැක්වීමට සමත් විය. 2019 පෙබරවාරි මස පැවති ජාතික තරගාවලියේ දී මීටර් 100 නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හිමාෂ ඒශාන් සමත් විය. එම තරගාවලියේ දී ම තුන් පිම්ම ඉසව්ව සඳහා සහභාගි වූ ශ්‍රේෂන් ධනංජය එහි නව ශ්‍රී ලංකා වාර්තාවකට හිමිකම් කීමට සමත් විය. 

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී දෝහා හි පැවති ආසියානු ශූරතා තරගාවලියේ දී කාන්තා මීටර් 400 තරග ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. එහි කාලය ලෙස මිනිත්තු 3.45.06 වාර්තා විය. 

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී කාන්තා මීටර් 1500 ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙලීමට නිමාලි ලියනආරච්චි සමත් විය. ශ්‍රී ලංකා තුන් පිම්ම කාන්තා වාර්තාව බිඳ දැමීමට විදූෂා ලක්ශානි සමත්වූයේ ද අගෝස්තු මාසයේ දී ය. ඇය එහි දී ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් විය. 

එම තරගාවලියේ දී ම දසප්‍රයාම තරග ඉසව්වේ දී ලකුණු 5128ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ලක්ශිකා සුගන්ධි සමත් විය. 

ශ්‍රී ලංකා දිගු දුර ධාවන ශූරී හිරුණි විජේරත්න ලෝක මලල ක්‍රීඩා තරගාවලියේ මැරතන් තරගය සඳහා පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී සහභාගි වූ අතර ඇය එහි දී නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කළාය. ශ්‍රී ලංකා නව වාර්තාවක් අලුත් කිරීමට මීටර් 5000 කාන්තා ඉසව්ව සඳහා සහභාගි වූ නිලානි රත්නායක සමත් විය. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න සංඛ්‍යාවක් 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී නේපාලයේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි විය. එහි දී ඔවුන් රන් පදක්කම් 15ක්, රිදී පදක්කම් 12ක් හා ලෝකඩ පදක්කම් 8ක් සමඟින් පදක්කම් 35ක් දිනා ගැනීමට සමත් විය. 

මෙම තරගාවලිය සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම ඩෙංගු උණ රෝගයෙන් පෙළුණ අතර තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම යම් යම් ආබාධිත තත්ත්වයන්ට ද පත්ව තිබුණා. 

එය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල පාඩුවක් වූ අතර එහෙත් අසනීප තත්වයෙන් පසු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ආදේශ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තමන්ගේ උපරිමය කිරීම වඩාත් කැපී පෙනුණු කරුණක් විය. මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළට එසවීමට එය ප්‍රමුඛ හේතුවක් වූ බව නොඅනුමානය. 

දැල්පන්දු  

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මෙම වසරේ දී තම උපරිම දක්ශතා වෙත ළඟා විය. 

ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම 2019 ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ආසියානු ශූරියන් බවට මැලේසියාව පත්වූ අතර දෙවන ස්ථානය හිමි වූයේ සිංගප්පූරුවටයි. 

2018 වසරේ දී ආසියානු ශූරියන් වෙමින් 2019 වසරේ එංගලන්තයේ පැවති ලෝක දැල්පන්දු ශූරතාව සඳහා එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

එම තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරග තුනම පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුව ද, දෙවන වටයේ දී සිංගප්පූරුව පරාජය කිරීමට ඔවුන් සමත් විය. 

එම තරගයේ දී ලකුණු 76ක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටු වීමට ශ්‍රී ලංකා ගෝල විදින්නිය වූ තර්ජිනී සිවලිංගම් සමත් විය. එම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම 15 වැනි ස්ථානය සඳහා වන තරගයට සුදුසුකම් ලබා ගත් අතර එහි දී ඔවුන් සිංගප්පූරුව පරාජය කළේ ලකුණු 78-57ක් ලෙසිනි. 

මීට පෙර තරගයේ දී තමන් පිහිටු වූ වාර්තාව නැවත වරක් බිඳ දමමින් ලකුණු 77ක් රැස්කිරීමට තර්ජිනී සමත් විය. ඇය මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභියා බවට පත්වූයේ ලකුණු 348ක් වාර්තා කරමිනි.

2019 ඇත්තටම නරක ද?

ගෙවී ගිය 2019 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එතරම් සුබදායක අයුරින් ගත වූ එකක් නොවේ…

වොලිබෝල්

ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් මෙම වසර තුල ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගාවලි රැසකට සහභාගි වූ අතර එහි දී ඔවුන් කැපී පෙනෙන දස්කම් ‍රැසක් දැක්වීමට සමත් විය. 

මෙම වසරේ ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම සහභාගි වූ පළමු තරගාවලිය ලෙස 3 වැනි ආසියානු වයස අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලිය පැවැත්විය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම මියන්මාරය හා හොංකොං කණ්ඩායම් පරාජය කළ අතර ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, චීන තායිපේ හා ජපානය අතර පැවති තරග පරාජය විය. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය නිමා කළේ ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානය දිනා ගනිමිනි. 

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ කාන්තා වොලිබෝල් කණ්ඩායම 20 වැනි ආසියානු ජ්‍යේෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලිය සඳහා සහභාගි විය. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු වූ ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි විය. ඔවුන් මූලික වටයේ දී චීනය හා ඉන්දුනීසියාව හමුවේ පරාජය විය. දෙවන වටයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. 

2019 ආසියානු ජ්‍යේෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි විය. එහි දී ඔවුන් මූලික වටයේ දී A කාණ්ඩය යටතේ ඉරානය, ඕස්ට්‍රේලියාව හා කටාර් රාජ්‍යය හමුවේ තරග වැදිනි. 

එම තරගවල දී ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අසමත් වූ අතර ඔවුන් දෙවන වටයේ G කාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එහි දී කසකස්තානය, ඕමානය හා කුවේට් කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා වන තරගයේ දී ඕමානය හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 14 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. 

ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් සහභාගි වූ අවසන් තරගාවලිය ලෙස 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හැඳින්විය හැක. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම් ලෝකඩ පදක්කම් ද්විත්වයම තමන් සතුකර ගැනීමට සමත් විය. 

ශ්‍රී ලංකා කාන්තා  වොලිබෝල් කණ්ඩායම අපරාජිතව පළමු වටය අවසන් කළ අතර පිරිමි කණ්ඩායම දෙවන ස්ථානය දිනා ගනිමින් මූලික වටය අවසන් කළේය. අවසන් පූර්ව වටයේ දී නේපාලය හා ඉන්දියාව හමුවේ පරාජය වෙමින් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් ලෝකඩ පදක්කම සඳහා සුදුසුකම් ලබා ගත්තේය. එම තරගවල දී ඔවුන් පිළිවෙළින් මාලදිවයින හා බංග්ලාදේශය පරාජය කිරීමට සමත් විය. 

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි බීච් වොලිබෝල් කණ්ඩායම් එම කාණ්ඩ ද්විත්වයේම රන් හා රිදී පදක්කම් සියල්ල දිනා ගැනීමට සමත් වීම කැපී පෙනෙන දස්කමක් විය. 

උණ ගැනුණ මලල ක්‍රීඩා පිටිය සුවපත් කළ පදක්කම් වෙද්දු

දකුණු ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙසින් නම් ලද දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග නිමා…

පාපන්දු 

2019 වසර ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි පාපන්දු කණ්ඩායම්වලට කාර්‍යබහුල වසරක් විය. වසරේ ආරම්භක තරගාවලිය ලෙස පස්වැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දී මාලදිවයින පරාජය කළ අතර ඉන්දියාව හමුවේ පරාජය විය. අවසන් පූර්ව වටයේ දී නේපාලය හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ පාපන්දු කණ්ඩායම මාර්තු මාසයේ දී 2020 ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා සහභාගි විය. මූලික වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී ඉරානය, කටාර් හා බංග්ලාදේශ කණ්ඩායම් හමුවේ පරාජය විය. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මැයි මාසයේ දී සුහද තරගාවලියක් සඳහා ලාඕසයට පැමිණි අතර එහි දී තරගය ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ලාඕසය සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසර තුල දී සහභාගි වූ ප්‍රධානම තරගය ලෙස 2022 FIFA ලෝක කුසලානය හා 2023 ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හැඳින්විය හැකි අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ දී මැකාවූ කණ්ඩායම සමඟින් තරග වැදුනි. 

එම තරගයේ පළමු අදියර ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට මැකාවු කණ්ඩායම සමත් විය. දෙවන තරගය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ වන විට මෙරට පැවති ආරක්ෂක තත්වය නිසාවෙන් එම කණ්ඩායම මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම නිසා දෙවන අදියරේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට සංවිධායකයන් තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

මේ අතර ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම භූතානයේ සංචාරයක් සඳහා එක්වූ අතර එහි දී පැවති තරග දෙකේ දී එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර අනෙක් තරගය භූතානය ජයග්‍රහණය කළේය. 

දකුණු ආසියානු වයස අවුරුදු 15න් පහළ පාපන්දු තරගාවලිය මෙම වසරේ අගෝස්තු මාසයේ දී පැවති අතර ශ්‍රී ලංකා කණ්ඩායම එහි දී භූතානය, නේපාලය, බංග්ලාදේශය හා ඉන්දියාව හමුවේ මූලික වටයේ දී තරග වැදිනි. ශ්‍රී ලංකා කණ්ඩායම භූතාන කණ්ඩායම පරාජය කිරීමට සමත් වූ අතර අනෙක් තරග පරාජය වීමට ඔවුන්ට සිදු විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම FIFA කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ දෙවන තරගය සඳහා උතුරු කොරියාව සමඟින් තරග වැදුණු අතර එම තරගය ඔවුන් පරාජය වූයේ ගෝල 2-0ක් ලෙසිනි. එම තරගාවලියේ අනෙකුත් තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු කොරියාව හමුවේ ගෝල 8-0ක් ලෙස පරාජය විය. 

මේ අතර දකුණු ආසියානු 18න් පහළ පාපන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ අතර ඔවුන් ඉන්දියාව හා බංග්ලාදේශය හමුවේ පරාජය විය. 

45 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ පිරිමි පාපන්දු ශූරතාව දිනා ගැනීමට නැගෙනහිර පළාත සමත් වූ අතර කාන්තා ශූරතාව වයඹ පළාත් කණ්ඩායම සතු විය. 

ජය පරාජය සමව බෙදී ගිය සාර්ථක වසරක අවසානය එලෙස සනිටුහන් වූ අතර නව බලාපොරොත්තු, නව ජීවයක් සමඟින් එළඹෙන 2020 වසර ආරම්භයෙ වෙත අප පැමිණ සිටින්නෙමු. 

වසර 10ක් පුරාවට අප කෙරෙහි තැබූ විශ්වාසය එළඹෙන වසරේ දීත් එලෙසින්ම පවතිනු ඇතැයි අපගේ විශ්වාසයයි. ක්‍රීඩාලෝලී ඔබ සැමට එළඹෙන 2020 නව වසර ජීවයෙන් ජවයෙන් පිරි ජයග්‍රාහී නව වසරක් වේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<