කඩුලු 4යි, ලකුණු 69යි, උඩපන්දු 2යි; පෙලුක්වායෝ තරගයක් කණපිට ගසයි!

266

පිතිකරුවන්ට වැඩි වාසි ලබා දී ඇති වර්තමාන එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දී පවා පන්දු යවන්නකුටත් පෙරළියක් කළ හැකි බව ඊයේ (22) දකුණු අප්‍රිකානු ක්‍රීඩක අන්දිල් පෙලුක්වායෝ ලොවක් ඉදිරියේ ඔප්පු කර සිටියේය. ඒ ඩර්බන් හිදී පැවති දෙවැනි එක්දින තරගයේ දී ප්‍රතිවාදී පාකිස්තානු කණ්ඩායම මට්ටු කිරීමට තුන් ඉරියව්වෙන්ම තම උපරිම දායකත්වය දක්වමිනි.

පාකිස්තානුවන්ට තියුණු ජයක් ගෙන දුන් හෆීස්ගේ තැනට සුදුසු ප්‍රහාරය!

දීර්ඝ තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකාව බලා පියාසර කළ පාකිස්තානු …

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය සංචාරක පාකිස්තානුවන්ට හිමි වූ නිසා දකුණු අප්‍රිකාව ඊයේ තරගයට පිවිසියේ කෙසේ හෝ තරගාවලිය සම කිරීමේ අධිෂ්ඨානයෙනි. කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් පාකිස්තානයට පිතිකරණ අවස්ථාව පිළිගැන්වූයේ ද තම පන්දු බල ඇණිය ඉදිරියේ ඔවුන්ට විශාල ලකුණු පුවරුවක් ගොඩ නැගීමේ දී ඇති වන පීඩනය වැඩි බව දන්නා හෙයිනි. ප්ලෙසිස්ගේ තර්කය නිවැරදි බව සනාථ කරමින් සංචාරක කණ්ඩායමේ කඩුලු 8ක්ම ලකුණු 112ක් තුළ බිඳ දැමීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

පන්දු යැවීම ආරම්භ කළ කාගිසෝ රබාඩා, ආරම්භක පිතිකරු ඉමාම් උල්-හක් සහ බාබර් අසාම් ඉක්මනින් ක්‍රීඩාගාරයට හරවා යවමින් ඒ සඳහා මූලිකත්වය ගත්තේය. ඉන්පසු පන්දුව අතට ගත් අන්දිල් පෙලුක්වායෝ කලින් තරගයේ තම කණ්ඩායමට හිමි වන්නට තිබූ ජයග්‍රහණය උදුරා ගත් මොහොමඩ් හෆීස්ව ලකුණු 9කට දවා ගැනීමට සමත් විය.

වේගපන්දුව ඉදිරියේ අසරණ වී සිටි පාකිස්තානුවන්ගේ හිසරදය උත්සන්න කරමින් තවත් කඩුලු තුනක් බිඳ හෙලීමට චයිනමන් පන්දු යවන්නෙකු වන ටබ්‍රයිස් ශම්සි සමත් විය. ඒ අනුව පන්දුවාර 30ක් අවසන් වන විට පාකිස්තානු කණ්ඩායමට ලකුණු 150 සීමාවටවත් ළඟා වීමට නොහැකි වන බව පෙනෙන්නට තිබුණි.

කෙසේ වෙතත් තම කණ්ඩායමට සටනක් ලබා දිය හැකි ලකුණු සංඛ්‍යාවක් හෝ ලබා දීමට උත්සාහ දැරූ නායක සෆ්රාස් අහමඩ් ඉතාමත් සංයමයකින් යුතුව පන්දුවට පහර දෙමින් ලකුණු 41ක් රැස් කිරීමට සමත් විය. වෙනදා ඔහු සතු වන වේගවත් පහරවල් වලින් තොරව ගොඩ නැගූ මෙම ඉනිම තුළ දැකිය හැකි වූයේ හතරේ පහර දෙකක් පමණි.

පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වී සිටිය ද මෙම බැරෑරුම් අවස්ථාවේ තම නායකයාට උපරිම ලෙස උපකාර කළ හසන් අලි ලකුණු 59ක් රැස්කර ගත්තේය. ඒ තම පෞද්ගලික හොඳම ලකුණු සංඛ්‍යාව ලෙස මෙන්ම පාකිස්තානු ඉනිමේ ද වැඩිම ලකුණු ලාභියා ලෙසයි. පන්දු 45ක් තුල ගොඩ නැගුණු මෙම වේගවත් ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

මොවුන් දෙදෙනා 9 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ ලකුණු 90ක සබඳතාවය නොවන්නට පාකිස්තානුවන්ට ලකුණු 203ක් හෝ රැස් කිරීම ද සිහිනයක්ම වනු ඇත. පන්දු යැවීමේ දී රබාඩා කඩුලු දෙකක් ද, ශම්සි කඩුලු තුනක් ද බිඳ හෙලද්දී ඉනිමේ තීරණාත්මක කඩුලු 4ක් වන මොහොමඩ් හෆීස්, ශොයිබ් මලික්, මොහොමඩ් සෆ්රාස් සහ හසන් අලිගේ කඩුලු 4ම උදුරා ගන්නට අන්දිල් පෙලුක්වායෝ සමත් විය. අවසානයේ ඔහු පන්දු යැවීම නිමා කළේ තම පන්දුවාර 10 අවසානයේ ලකුණු 22ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. මීට අමතරව ඉමාම් උල්-හක් සහ බාබර් අසාම් ලබාදුන් උඩපන්දු දෙක රැක ගත්තේ ද අන්දිල් පෙලුක්වායෝයි.

ශතක දෙකේ වීරයා ශ්‍රී ලංකාවට හිසරදයක් වන ලකුණු!

කර්ටිස් පැටර්සන්, මීට දින කිහිපයකට පෙර නිමාවුණු සිංහ – කැන්ගරු තෙදින ….

ඒ අනුව දකුණු අප්‍රිකානුවන්ට ලකුණු 204ක ඉලක්කයක් හිමි වූ අතර බැලූ බැල්මට ජයග්‍රාහකයින් තීරණය කිරීමට කුඩා දරුවෙකුට වුවද අපහසු නොවන බව පෙනෙන්නට තිබුණි. නමුත් “අඩු ලකුණු තරග” කවදත් වැඩිපුර සිත් ඇදගන්නා බව තහවුරු කරමින් දකුණු අප්‍රිකානු පිළේ මුල් කඩුලු 5ම ලකුණු 80ක් තුල දී අනපේක්ෂිත ලෙස දැවී ගියේය. ඒ අතරතුර පළමු එක්දින තරගයේ ශතකලාභී හෂීම් අම්ලාගේ කඩුල්ල මෙන්ම නායක ෆැෆ් ඩු ප්ලෙසිස්ගේ කඩුල්ල ද විය. එම කඩුලු ද්විත්වයේම හිමිකරු වූයේ උසින් අඩි 6යි අඟල් 5ක් වන “පාකිස්තානයේ මිචෙල් ස්ටාර්ක්” ලෙස හැඳින්වෙන ශහීන් අෆ්රිඩියි. තවමත් 18 හැවිරිදි වියේ පසුවන ඔහු ස්ටාර්ක් මෙන්ම වමත් වේග පන්දු යවන්නෙකි.

ඩේවිඩ් මිලර් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් රැස් කරමින් ආරම්භයක් ලබා ගත්ත ද ලකුණු පුවරුව යන්තම් 80ක් වෙද්දී ඔහුව දවා ගැනීමට ශදාබ් කාන් සමත්කම් දැක්වීය. මේ වන විට පාකිස්තානුවන් පිටිය තුල නව ජවයකින් යුතුව ක්‍රීඩා කළ අතර පසුපෙළ කඩුලු 5ත් ඉක්මනින් බිඳ දමා ජය තහවුරු කර ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය විය. නමුත් එතැන් සිට පිටියේ එක්වූ නවක ක්‍රීඩක වැන් ඩර් ඩුසේන් සහ අන්දිල් පෙලුක්වායෝ පාකිස්තානුවන් සතුව මේ දක්වා යම් ප්‍රීතියක් ගොඩනැගී තිබුණේ ද, ඒ සියල්ල උදුරා ගනිමින් අනපේක්ෂිත ජයක් දකුණු අප්‍රිකාවට තිලිණ කර දුන්හ. ඒ නොබිඳුනු ලකුණු 127ක සබඳතාවයක් ගොඩ නගමිනි.

දිමුත් වසරේ ටෙස්ට් කණ්ඩායමට!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් …

විශේෂත්වය වන්නේ මෙම සබඳතාවය වෙනුවෙන් ලකුණු 80කින් දායකත්වය සැපයූ වැන් ඩර් ඩුසේන් ජාත්‍යන්තර එක්දින පිටියට හඳුන්වා දුන්නේ ද මෙම තරගාවලියේ මුල්ම තරගයේ දී වීමයි. එහි දී ද පාකිස්තානුවන්ට රිදෙන්නට පහර දුන් ඩුසේන් ලකුණු 93ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ අංශය ශක්තිමත් කිරීමට කණ්ඩායමට ඇතුළත් කර සිටින අන්දිල් පෙලුක්වායෝ ද අවශ්‍ය මොහොතේ පිත්තෙන් යමක් කිරීමට ද තමන් පසුබට නොවන බව තහවුරු කරමින් නොදැවී ලකුණු 69ක් රැස් කළේය. පන්දු 80ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. මේ සුවිශේෂී දක්ෂතා නිසාම පරාජයේ මරු කටට ඇදෙමින් තිබූ තරගය පන්දුවාර 42ක් තුළ ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට දකුණු අප්‍රිකානුවන්ට හැකි විය.

තරගයේ වීරයා සම්මානය ගැන කිසිවෙකුගේ සිතේ සැක සංකා නොතිබූ අතර කඩුලු 4, ලකුණු 69ක සහ උඩපන්දු දෙකක හිමිකරු වූ අන්දිල් පෙලුක්වායෝ ඊට හිමිකම් කීවේය. දෙපිළේම ක්‍රීඩකයින් කරට කර ගැටෙන තරග 5කින් සමන්විත මෙම උණුසුම් එක්දින තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස සම තත්වයේ පවතින අතර, තෙවැනි තරගය ලබන 25 වැනිදා සෙන්චූරියන් හිදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

පාකිස්තානය – සියල්ලන්ම දැවී ලකුණු 203 (පන්දුවාර 45.5)

හසන් අලි 59, මොහොමඩ් සෆ්රාස් 41, ෆකාර් සමාන් 26, ශොයිබ් මලික් 21, ශදාබ් කාන් 18, අන්දිල් පෙලුක්වායෝ 4/22, ටබ්‍රයිස් ශම්සි 3/56, කාගිසෝ රබාඩා 2/35.

දකුණු අප්‍රිකාව – කඩුලු 5ක් දැවී ලකුණු 207 (පන්දුවාර 42)

වෑන් ඩර් ඩුසේන් 80, අන්දිල් පෙලුක්වායෝ 69*, ඩේවිඩ් මිලර් 31, ශහීන් අෆ්රිඩි 3/44, ශදාබ් කාන් 2/46.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<