පාකිස්තානුවන්ට තියුණු ජයක් ගෙන දුන් හෆීස්ගේ තැනට සුදුසු ප්‍රහාරය!

463
AFP

දීර්ඝ තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකාව බලා පියාසර කළ පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම එම සංචාරයේ කුළුඳුල් ජයග්‍රහණය වාර්තා කිරීමට අද (20) අලුයම සමත් විය. ඒ පෝර්ට් එලිසබෙත් හිදී පැවති පළමු ජාත්‍යන්තර එක්දින තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කරමිනි.

මෙම සංචාරය අරඹමින් පැවති ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙස පරාජයට පත් වුවද වර්තමාන එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දී දකුණු අප්‍රිකානුවන් සමඟ කරට කර සිටින පාකිස්තානය මෙහි දී ජය තහවුරු කර ගත්තේ තරගයේ අවසන් පන්දුවාරය දක්වා අධිෂ්ඨානශීලී සටනක නිරත වෙමිනි.

ඩේල් ස්ටේන්ගේ අනුප්‍රාප්තිකයා ඔලිවියර් ද?

වැලි කතර නුපුරුදු කිවියන් හමුවේ පාකිස්තානු කණ්ඩායම තරග 2-1ක අනපේක්ෂිත ටෙස්ට් තරගාවලි පරාජයක් ලබා වැඩි කල් ගත වූයේ නැත. තත්ත්වය තවත් නරක අතට හරවමින්…

කවදත් එක්දින ජාත්‍යන්තර තරග සඳහා හොඳින් ලකුණු ඇති තණතිලි නිර්මාණය කරන අප්‍රිකානුවන් ඊයේ දිනයේ පෝර්ට් එලිසබෙත් වලදී ද සිය පුරුද්ද අත්හැර තිබුණේ නැත. ඒ මතදී කාසියේ වාසිය දිනාගත් සත්කාරක කණ්ඩායමේ නායක ෆැෆ් ඩු ප්ලෙසිස් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් වෙත පවරා ගත්තේය. ඒ අනුව පිටියට පිවිසි හෂීම් අම්ලා සහ රීසා හෙන්රික්ස් බොහෝමයක් තරගවල දී මෙන් “විශ්වසනීය ආරම්භයක්” තම කණ්ඩායමට ලබා දුන්නේය. ඒ මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක සබඳතාවයක් ගොඩ නගමිනි. කෙසේ වෙතත් එතරම් විශාල පහරවල් කරා යාමට උත්සාහයක් නොගත් ඔවුන් දෙදෙනා පළමු පවර්ප්ලේ පන්දුවාර 10 තුල දී රැස් කළේ ලකුණු 46ක් පමණි.

දිනයේ බිඳ වැටුණු මුල්ම කඩුල්ල ලෙස හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් රැස් කරගෙන සිටි රීසා හෙන්රික්ස් දැවී ගියේ ශදාබ් කාන්ගේ පා දඟපන්දුවකට ගොදුරු වෙමිනි. ඒ දකුණු අප්‍රිකානුවන් ඒ වන විට ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට දැරූ උත්සාහය ක්ෂණයකින් නවතා දමමිනි.

තම මංගල ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කරන වැන් ඩර් ඩුසේන් ඉන් අනතුරුව පිටියට පිවිසි අතර ඔහු තමන්ට ලැබුණු අවස්ථාවෙන් ඉතා හොඳින් ප්‍රයෝජන ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 93ක් රැස්කර ගනිමිනි. ඔහු තම මංගල අර්ධ ශතකය රැස් කළේ ද කිසිදු චකිතයකින් තොරව ඩීප් මිඩ්-විකට් ඔස්සේ එල්ල කළ හයේ පහරක් මගිනි.

කෙසේ වෙතත් හසන් අලි යැවූ පන්දුවක් හමුවේ කල් මැනීම සාර්ථක කර ගන්නට නොහැකි වූ මෙම 29 හැවිරිදි කෝඩුකාරයාට තම මංගල එක්දින තරගයේ දී ශතකයක් රැස්කර ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මගහැරී ගියේය.

නමුත් ආරම්භයේ සිටම පන්දුව හොඳින් තෝරා බේරාගත් දකුණත් ආරම්භක පිතිකරු හෂීම් අම්ලා ඊයේ දිනයේ තම එක්දින දිවියේ 27 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ ඔහුටම ආවේණික දර්ශනීය හයේ පහරක් මගිනි. ඒ අනුව දකුණු අප්‍රිකානුවන් තමන්ට නියමිත පන්දුවාර 50 තුල දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 266ක් රැස්කර ගැනීමට සමත් වූහ. මෙය ඉතාමත්ම ඉහළ ගණයේ ලකුණු රැස් කිරීමක් වුවද ගැටලුව වූයේ කඩුලු අඩුවෙන් බිඳ වැටුණු මොහොතක හොඳින් ලකුණු සහිත තණතිල්ලක මේ ලකුණු සංඛ්‍යාව ප්‍රමාණවත් ද යන්නයි.

විශේෂයෙන්ම පන්දුවාර 50ම නොදැවී පිටියේ රැඳී සිටි හෂීම් අම්ලාට අවසන් පන්දුවාර 10 තුල දී හෝ වේගයෙන් ලකුණු රැස් කිරීමට හැකියාව ලැබුණේ නැත. අම්ලා නොදැවී ලබාගත් ලකුණු 108 වෙනුවෙන් පන්දු 120ක් වැය කිරීමට ඔහුට සිදු විය. මෙහි ස්තුතිය ඊයේ දිනයේ ඉතාමත් විශිෂ්ට ආකාරයෙන් පන්දු යැවූ හසන් අලි සහ ශදාබ් කාන්ට හිමි විය යුතුය.

චහාල් ඉදිරියේ කැන්ගරුවන් ඇඹරෙයි

ලෝක කුසලාන 5ක් ජයග්‍රහණය කරමින් එදා මෙදාතුර එක්දින ක්‍රිකට් ක්‍රීඩාව දිග් විජය කළ කැන්ගරුවන්ට දැන් නම් උදාවී ඇත්තේ යහපත් කල දසාවක් නොවේ. පසුගිය වසරේ සිටම…

ලකුණු 267ක බලාපොරොත්තු සහගත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි පාකිස්තානුවන්ට තිබූ එකම අවශ්‍යතාවය වූයේ හොඳ ආරම්භයක් ලබා ගැනීමයි. එය සාර්ථක කර දෙන්නට ඉමාම් උල්-හක් සහ ෆකාර් සමාන් සමත් වූහ. ඒ මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කරමිනි. ඉන් අනතුරුව පාකිස්තානු කණ්ඩායම දිගින් දිගටම ලකුණු සබඳතා ගොඩ නැගූ අතර කිසිදු පිතිකරුවෙකු පැමිණි ක්ෂණයෙන් නැවත ක්‍රීඩාගාරය වෙත හැරී ගොස් දකුණු අප්‍රිකානු දේශයේ දී එක්දින ජයක් වෙනුවෙන් ලැබුණු මෙම විරල අවස්ථාව අපතේ හැරියේ නැත. විශිෂ්ට ඉනිමක නියැලුණු ආරම්භක පිතිකරු ඉමාම් උල්-හක් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 86ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙසයි.

ඔහු ගෙන දුන් ආරම්භය ඉදිරියට ගෙන යාමට තම අත්දැකීම් භාවිතයට ගත් මොහොමඩ් හෆීස් නොදැවී ලකුණු 71ක් රැස් කරමින් අවසන් පන්දුවාරයේ ජයක් පාකිස්තානුවන්ට තිලිණ කර දුන්නේය. පන්දු 63ක් පමණක් වැයවුණු හෆීස්ගේ මෙම “තැනට සුදුසු ඉනිමට” හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

තරගයේ අවසන් කොටසේ දී හෆීස්ට හැකි පමණින් උදව් කළ ශදාබ් කාන්ගේ ලකුණු 18 ද තරග ජයග්‍රහණය සඳහා උපකාරී විය. මීට අමතරව ඉනිමේ මැද කොටසේ දී බාබර් අසාම් ලබාගත් ඉවසිලිවන්ත ලකුණු 49 ද එක්දින තරගාවලියට හොඳින් අවතීර්ණ වීමට පාකිස්තානුවන්ට පිහිට විය.

ශ්‍රී ලංකා පිතිපෙළ හොලන්ඩ්ගේ දඟපන්දුවට බිලිවෙයි; තිරිමාන්න බේරෙයි

ලබන බ්‍රහස්පතින්දා (24) බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන්නට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියට පෙර සූදානමක් වශයෙන් පැවති තුන්දින…

තරගයේ වීරයා සම්මානය පීඩනය මැද සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ මැදපෙළ පිතිකරු මොහොමඩ් හෆීස් දිනා ගත්තේය. ඔහු මෙන්ම පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ් ද තරගයෙන් පසු ප්‍රකාශ කළේ මෙය සම්පූර්ණයෙන්ම “කණ්ඩායමේ එකමුතුව” නිසා ලබාගත් ජයග්‍රහණයක් බවයි. දකුණු අප්‍රිකානු නායක ෆැෆ් ඩු ප්ලෙසිස් ද තම පිතිකරුවන් ජයග්‍රහණයට ඇවැසි ලකුණු ගණනට වඩා ලකුණු 10 – 15ක ප්‍රමාණයක් පිටුපසින් සිටි බව පිළිගත්තේය. මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක 4 සහ 5 ස්ථානවල සිටින මෙම සටන්කාමී කණ්ඩායම් දෙක අතර මීළඟ ක්‍රිකට් ගැටුම ලබන 22 වැනිදා ඩර්බන් හිදී එළි දැක්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාව: කඩුලු 2ක් දැවී ලකුණු 266 (පන්දුවාර 50)හෂීම් අම්ලා 108*, වැන් ඩර් ඩුසේන් 93, රීසා හෙන්රික්ස් 45, ඩේවිඩ් මිලර් 16, ශදාබ් කාන් 1/41, හසන් අලි 1/42.

පාකිස්තානය: කඩුලු 5ක් දැවී ලකුණු 267 (පන්දුවාර 49.1)ඉමාම් උල්-හක් 86, මොහොමඩ් හෆීස් 71*, බාබර් අසාම් 49, ෆකාර් සමාන් 25, ශදාබ් කාන් 18*, ඩුවාන් ඔලිවියර් 2/73, රීසා හෙන්රික්ස් 1/13, අන්දිල් පෙලුක්වායෝ 1/43, ඉම්රාන් තහීර් 1/44.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<