හිරුණි විජයරත්න සිය පළමු ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සඳහා අද (17) සහභාගී විය. මේ වන විටත් 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙන ඇය මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 35:30.0 දක්ෂතාවයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. ඒ 97 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ (97th Athletics Championship) දෙවැනි දිනයේ දීයි.

Nimali Liyanarachchi breaks 1500m record after 9 years

මීටර 1500 කාන්තා තරගයේ දී නිමාලි ලියනාරච්චි විසින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර එහි දී ඇය…

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (SAG) සඳහා වරම් දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමි වන අවසන් අවස්ථාව මෙම තරගාවලිය වන නිසාවෙන් ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරගාවලිය සඳහා සහභාගී වෙයි. තරගාවලියේ දෙවැනි දිනය වන අද අවසන් තරග 13ක් පැවැත්විය.

හිරුණි ඉදිරියෙන්.

අද දිනයේ සිදු වූ විශේෂිතම සිදුවීම වන්නේ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශීය මෙන්ම ජාත්‍යන්තරයේ දී පවා ලක්මව රනින් සැරසූ සුපිරි ක්‍රීඩකයෙකු වන ශෙහාන් අඹේපිටිය අද ක්‍රීඩා පිටියෙන් නික්ම යෑමයි. මීටර් 200 මූලික වටයේ තරගයකට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මෙසේ මලල ක්‍රීඩා පිටියේ සමුගත්තේ කලක් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා අභිෂේක ලැබූ මතකයන් රැසක් සමඟිනි.

ශෙහාන් අඹේපිටිය

සාන්ත සෙබස්තියන් විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන යුද හමුදා ක්‍රීඩක සමිත් මදුසංක අද යගුලිය විසි කිරීම අවසන් තරගයෙන් රන් පදක්කම ජයග්‍රහණය කළේ ඉසව්වේ තරග වාර්තාව සමකරමින්. මීටර් 16.23 වාර්තා කර සමත්ට දෙවැනි වූයේ වර්තමාන වාර්තාවේ හිමිකරු වන යුද හමුදා ක්‍රීඩා සමාජයේම සමිත ජයවර්ධනයි (මීටර් 15.88).

දිනය කාගේත් අවධානය දිනා ගත් ඉසව් ද්විත්වයක් වන මීටර් 100 කාන්තා සහ පිරිමි ඉසව්වන් හි ජයග්‍රහණ හිමි කර ගැනීමට සුගන්දිකා ලක්ෂානි සහ හිමාෂ එෂාන් සහ විනෝජ් සුරංජය සමත් විය.

>> දෙවැනි දිනයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ආරම්භක වෙඩි හඬත් සමඟින් ක්‍රීඩකයින් කඟවේනුන් මෙන් ඉදිරියට ඇදුණු අතර හිමාෂ, විනෝජ් සහ ප්‍රියදර්ශන අබේකෝන් තිදෙනා එක පොකුරට පැමිණෙමින් ජයග්‍රාහී සීමාව පසුකර ගියේ ජයග්‍රාහකයින් කවුරුන් දැයි සිතා ගැනීමට ඉඩක් ඉතිරි නොකරමිනි. කාල ගණන යන්ත්‍රවලට අනුව අවසානයේ දී අවසන් දශමයෙන් හිමාෂ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට සමත් විය. ඒ අනුව විනෝජ්ට කෙස් ගහෙන් ශූරතාව අහිමි වෙද්දී මිලිතත්පර 3කින් අබේකෝන්ට තෙවැනි ස්ථානය හිමි විය.

වමේ සිට දකුණට – විනෝජ්, ප්‍රියදර්ශන, හිමාෂ

මීටර් 100 ඉසව්වේ වත්මන් ශූර රුමේෂිකා රත්නායක අද තරගය අතරතුර දී ආබාධයකට ලක් වීම නිසාවෙන් ප්‍රථම වරට එම ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සුගන්දි ලක්ෂිකා සමත් විය. ඉසව්ව ආරම්භයේ දී පටන් පෙරමුණේ සිටි ඇය තරගාවසානයට ආසන්නයේ දී පාදයේ ආබාධයකට ලක්විය. තත්පර 12.08 කාලයක් වාර්තා කරමින් ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත් සුගන්දි තරගයෙන් පසුව මෙසේ ThePapare.com වෙත අදහස් දැක්විය.

එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථානය අමාෂා ද සිල්වා (12.20) සහ ශර්මිලා ජෑන් (12.24) විසින් ජයග්‍රහණය කරන ලදි. යුද හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් මීටර් 100 කාන්තා පිරිමි ඉසව් සඳහා සහභාගී වීම විශේෂත්වයක්.

රුමේෂිකා පාදයේ ආබාධයට ලක්වෙන අවස්ථාව

යුද හමුදාව නියෝජනය කරමින් තරග කරන දක්ෂ ක්‍රීඩිකාවක් වන නදීෂා රාමනායක මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය (53.11) දිනා ගැනීමට සමත් වූයේ කිසිදු අභියෝගයකින් තොරවයි. ඉසව්ව ආරම්භයේ දී ම ප්‍රබල ආරම්භයක් ලබා ගත් ඇය අවසානය දක්වාම අනෙක් ක්‍රීඩිකාවන් සමඟින් හොඳ පරතරයක් රඳවා ගන්නට සමත් වූවාය. ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන ද දිනා ගන්නට ද යුද හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.

නදීෂා රාමනායක ඉදිරියෙන්

>> දෙවැනි දිනයේ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලකුණු සහ වාර්තා <<

මාතලේ ප්‍රදේශයෙන් මලල ක්‍රීඩාවට අවතීර්ණ සුපිරි ක්‍රීඩකයෙකු වන අරුණ දර්ශන අද පැවති මීටර් 400 ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කළේ තත්පර 46.76 කාලයක් වාර්තා කරමින්. මෙම ඉසව්වේ විශේෂත්වයක් වන්නේ සහභාගී වූ සියලුම ක්‍රීඩකයින් යුද හමුදා ක්‍රීඩකයින් වීමයි. 

අරුණ දර්ශන

නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන යුද හමුදා ක්‍රීඩක කුපුන් කුෂාන්ත මීටර් 1500 ඉසව්ව මිනිත්තු 3:47.61 කාලයකින් අවසන් කරමින් ඉසව්වේ ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරන්නට සමත් විය. සංජීව ලක්මාල් (3:51.29) සහ එච්. කේ. ටී. ෆොන්සේකා (3:55.39) පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ජයග්‍රහණය කරන ලදි.

කුපුන් කුෂාන්ත පෙරමුණේ

තරගාවලියේ තෙවැනි සහ අවසන් දිනය හෙට (18) පැවැත්වීමට නියමිතයි. හෙට දිනයේ ද අවසන් තරග 13ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වනු ඇත. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<