යාපනයෙන් කොළඹට දැවැන්ත අභියෝගයක්

SLC National Super League 4 Day Tournament 2024

60

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දෙවැනි දිනයේ දී දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට යාපනය ක්‍රීඩකයෝ අද (15) සමත් වුනා.  

ඔවුන් අද තම පළමු ඉනිම නිමා කරන විට සියලුම දෙනා දැවී ලකුණු 491ක් ලබා සිටියා.  

මේ අතර අද දවස නිමා වෙද්දී ගාල්ල කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් සහ විශාද් රන්දික, යාපනය කණ්ඩායමේ  සඳුන් වීරක්කොඩි සහ සංතුශ් ගුණතිලක අර්ධ ශතක ඉනිම් වාර්තා කරමින් කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වුනා.  

11 වැනි තරගය, හම්බන්තොට, මාර්තු 14-17, 2024, National Super League4 Day Tournament 

  • ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, සූරියවැව 
  •  කාසියේ වාසිය – Kandy 

අද තරගය ආරම්භ වෙන්නේ මහනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 210ට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 53ක් ලබා තිබූ තැන සිටයි. කෙසේ වෙතත් ඔවුන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 248ක් රැස් කිරීමට සමත් වුනා.  

දිනයේ පළමු කඩුල්ල ලෙසින් පෙර දින නොදැවී ලකුණු 5ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් අද ඊට තවත් ලකුණු 5ක් රැස් කරගෙන සිටිය දී දැවී ගියා. ඉන් අනතුරුව පිටියට පිවිසි විශාද් රන්දික ගැලු ඉනිමේ ගැලවුම්කරු බවට පත් වෙමින් ලකුණු 80ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම පන්දු 168කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 5ක් ඇතුලත් වුනා.  

පෙර දින නොදැවී ලකුණු 20ක් ලබා සිටි ධනංජය ලක්ෂාන් ද අද තම අර්ධ ශතකය වාර්තා කළා. ඔහු පන්දු 122කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට 82ක සබඳතාවක් ද එක් කළා.  

ඊට අමතර ව නිශාන් පීරිස් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී නිම්සර අතරගල්ල සහ වනුජ සහන් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූවා. ඊට අමතර ව ලහිරු උදාර කඩුලු 2ක් ද සහ අශේන් ඩැනියෙල් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුල්ල බැගින් ද දවා ගත්තා.  

අනතුරු ව ලකුණු 38ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 78ක් ලබා සිටියා.  

එම ඉනිම වෙනුවෙන් ලහිරු උදාර පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා. තරගය 2 වැනි දිනයට නතර කරන විට කමිල් මිෂාර පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ද සහ අහන් වික්‍රමසිංහ පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා ගනිමින් ද පිටියේ රැදී සිටියා.  

කඩුලු ලබා ගැනීමේ දී නිශාන් පීරිස් ලකුණු 12කට කඩුලු 2ක් දවා ගත් අතර මිලාන් රත්නායක කඩුල්ලක් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 210 (63.5) පවන්ත වීරසිංහ 56, ලහිරු උදාර 19, කමිල් මිෂාර 21, වනුජ සහන් 56, අශේන් ඩැනියෙල් 20, ධනංජය ලක්ෂාන් 3/26, නිමේෂ් විමුක්ති 3/21 

Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 248 (78.4) ධනංජය ලක්ෂාන් 68, විශාද් රන්දික 80, නිශාන් පීරිස් නොදැවී 29, නිම්සර අතරගල්ල 3/72, ලහිරු උදාර 2/25, වනුජ සහන් 3/55 

Kandy – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 78 (27.0) ලහිරු උදාර 22, කමිල් මිෂාර නොදැවී 30, අහන් වික්‍රමසිංහ නොදැවී 18, නිශාන් පීරිස් 2/12 

තරගය හෙට (16) තෙවැනි දිනයට ක්‍රියාත්මක වේ.  

මෙම තරගය හෙට (15) දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ. 

12 වැනි තරගය, කොළඹ, මාර්තු 14-17, 2024, National Super League4 Day Tournament 

o ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ. 

o කාසියේ වාසිය – Jaffna 

තරගයේ පළමු දිනය ම තම පිතිහරඹය වෙනුවෙන් යොදා ගත් යාපනය ක්‍රීඩකයෝ අද දවසේ ද කාර්තු 2ක් ම තම ඉනිම වෙනුවෙන් යොදා ගත්තා. පෙර දිනයේ දී ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 305ක් ලබා සිටි අද ඔවුන් තම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 491ක් ලබා ගන්නවා.  

පෙර දිනයේ තෙවැනි කඩුල්ලට නොදැවී ලකුණු 208ක් ලබා සිටි රොන් චන්ද්‍රගුප්ත සහ නිපුන් කරුණානායක අද මෙම සබඳතාවට එක් කළේ ලකුණු 3ක් පමණයි.  

දිනයේ යැවුණ 13 වැනි පන්දුවේ දී නිපුන් කරුණානායක තෙවැනි කඩුල්ල ලෙසින් දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 119ක් ලබා සිටියා. එය පෙර දින ඉනිමට ලකුණක් පමණක් එකතු කිරීමකි. 

අනතුරුව රොන් චන්ද්‍රගුප්ත ද තම ඉනිමට තවත් ලකුණු 10ක් පමණක් එක් වෙද්දී දැවී ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 267කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 128ක් ලබා සිටියා.  

අද දවසේ දී යාපනය ඉනිමේ කෙරුම්කරුවන් වූයේ සඳුන් වීරක්කොඩි සහ සංතුශ් ගුණතිලකයි. ඔවුන් දෙදෙනා ද අද අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

සඳුන් වීරක්කොඩි පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ද සහ සංතුශ් ගුණතිලක පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ද ලබා ගත්තා.  

ඊට අමතර ව ජෙෆ්රි වැන්ඩර්සේ ද පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.  

පන්දු යැවීමේ දී අශේන් බණ්ඩාර, නිසල තාරක, චාමිකර එදිරිසිංහ සහ නලින් ප්‍රියදර්ශන කඩුලු 2 බැගින් දවා ගත්තා. ඊට අමතර ව කලන පෙරේරා සහ දසුන් ශානක ද කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

දැවැන්ත ලකුණු පුවරුවක් හඹා යෑම වෙනුවෙන් පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ තරගයේ 2 වැනි දිනය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 103ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ආරම්භ කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක සබඳතාවක් එක් කිරීමට හේෂාන් ධනුශ්ක සහ දිමුත් කරුණාරත්න සමත් වූවා.  

දිමුත් කරුණාරත්න පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුනු 37ක් ලබා සිටිය දී දැවී ගියා.  

තරගය දෙවැනි දිනයට නතර වෙද්දී ආරම්භක පිතිකරු හේෂාන් ධනුශ්ක පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ද සහ නිපුන් ධනංජය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියා.  

දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය ශෂික දුල්ශාන් සතු වුනා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

Jaffna – පළමු ඉනිම සියලුම දෙනා දැවී 491 (143.5) නිශාන් මධුශ්ක 53, රොන් චන්ද්‍රගුප්ත නොදැවී 128, නිපුන් කරුණානායක 119, සඳුන් වීරක්කොඩි 58, සංතුශ් ගුණතිලක 50, ජෙෆ්රි වැන්ඩර්සේ 25, නිසල තාරක 2/91, චාමිකර එදිරිසිංහ 2/97, නලින් ප්‍රියංකර 2/117, අශේන් බණ්ඩාර 2/22 

Colombo – පළමු ඉනිම කඩුල්ලක් දැවී 103 (25.0) හේෂාන් ධනුශ්ක නොදැවී 36, දිමුත් කරුණාරත්න 37, නිපුන් ධනංජය නොදැවී 17, ශෂික දුල්ශාන් 1/28 

මෙම තරගය හෙට (15) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.  

මෙම තරගාවලියේ මෙන් ම දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<