මේක තමයි මම දැකපු දුර්වලම පිතිකරණය – Grant Flower

138

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ඊයේ (14) ගාල්ලේ දී ආරම්භ වූ අතර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 135කට සීමා වූයේ වසර 20කට පසු ගාල්ලේ දී වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව සටහන් කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණය පිළිබඳව පිතිකරණ පුහුණුකරු Grant Flower පළමු දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වා සිටියා.

“මට ඒක විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මම ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක දැන් වසරකට වැඩි කාලයක් ඉන්නවා. මේක තමයි මම දැකපු දුර්වලම පිතිකරණය.”

“මම හිතන්නේ මේකට සම්පූර්ණ හේතුව මානසිකත්වය කියලා. වෙන හේතුවක් මට හිතාගන්න බැහැ.”

“පළමු ඉනිමෙන් පස්සේ Mickey Arthur මගෙන් ඇහුවා අපි මේකේ වැරැද්ද බාරගන්න ඕනෙද කියලා. මම කියන්නේ මේකට පිතිකරුවෝ හැමෝම වගකියන්න ඕනේ. ඔවුන් තමයි මේකේ සම්පූර්ණ වගකීම බාරගන්න ඕනේ. දසුන් ශානක විතරයි අවාසනාවන්ත විදිහට දැවී ගියේ. අනික් සියලු දෙනා නිකරුණේ ඔවුන්ගේ කඩුල්ල ලබා දුන්නා.”

“එංගලන්ත පන්දු යැවීම හොඳ මට්ටමක තිබුණා. ඒත් මේ තණතීරුව පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක් නෙමෙයි. ඒ නිසා පිතිකරුවන්ට කිසිම සමාවක් නැහැ.”

“මට ඔවුන්ට දෙන්න තාක්ෂණික උපදෙස් නැහැ. මට මේ වෙලාවේ ඔවුන්ට දෙන්න පුළුවන් වෙන්නේ මානසික උපදෙස් විතරයි. ඔවුන්ගේ දැවී යාම් ගැන ඔවුන් හිතන්නේ මොනවද කියලා මම දැනගන්න ඕනේ. මට අවස්ථාව ලැබුණේ ඔවුන් කීපදෙනෙක් එක්ක කතා කරන්න විතරයි. ඒ වගේම මම පුහුණුකරු එක්ක කතා කළා.” 

“මම දන්නේ නැහැ ඒක විස්තර කරන්නේ කොහොමද කියලා. මට කියන්න වචන නැහැ. අපි මේ තරම් දුර්වලව පන්දුවට පහර දෙනවා මම දැකලා නැහැ. මම දන්නේ නැහැ ඒකට හේතුවක්. ඔවුන් දකුණු අප්‍රිකාවේ ඉඳන් ආව නිසා ද කියලා දන්නේ නැහැ. ඒත් ඔවුන් ගාල්ල තණතීරුව ගැන හොඳින් දන්නවා. ඔවුන්ට එංගලන්තයට වඩා ලොකු වාසියක් තියනවා.” 

“එංගලන්ත පිතිකරුවන් ඔවුන්ගේ පිතිකරණයේ දී අපිට පෙන්නුවා මේ තණතීරුවේ කිසිම වැරැද්දක් නැහැ කියලා. තණතීරුව පරණ වෙද්දී තරමක අභියෝගයක් තියේවි. ඒත් අද ඒකේ කිසිම වැරැද්දක් තිබුණේ නැහැ. තණතීරුව හොඳ එකක්. ඒත් අපි දුර්වලව ක්‍රීඩා කළා.” 

“දකුණු අප්‍රිකාවේ දී පිතිකරණ අසාර්ථකත්වයට යම් තාක්ෂණික හේතු බලපෑවා වෙන්න පුළුවන්. ඒත් අද තරගයේ කිසිම තාක්ෂණික දෝෂයක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම මානසිකත්වය පිළිබඳව ගැටලුවක් තිබුණේ.”

තවත් ක්‍රිකට් පුවත්:

කුසල් මෙන්ඩිස් මෙම ඉනිමේ දී ද ලකුණු නොලබා දැවී ගිය අතර එය ඔහු ලකුණු නොලබා දැවී ගිය සිව්වැනි අවස්ථාව ලෙස වාර්තා විය.

“කුසල් මෙන්ඩිස් ඔහු ක්‍රීඩා නොකළ යුතු පන්දුවකට පහර දුන්නේ. ඒක තාක්ෂණික ප්‍රශ්නයක් නෙමෙයි. මානසිකත්වය ගැන ප්‍රශ්නයක්. ඒක තමයි පිතිකරණ පුහුණුකරු විදිහට මගේ මතය.”

පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහභාගී නොවීම බොහෝ දෙනාගේ අවධානයට යොමුව තිබූ අතර ඔහුගේ අතෙහි ඇතිවූ ආබාධයක් එයට හේතුව බව පසුව වාර්තා විය.

“ඔහුගේ අතේ පොඩි ආබාධයක් තිබුණා. මහපටඇඟිල්ලේ සුළු බිඳී යාමක්. ඔහු 100%ක් සුවවෙලා නැහැ. ඔහු උදේ පන්දුවට පහර දෙන්න උත්සාහ කළා. ඔහුට ලොකු වේදනාවක් තිබුණා. ඔහුගේ දැන් තත්ත්වය එක්ක ඔහු දෙවන තරගයට ක්‍රීඩා කරාවි. ඒක 100%ක් තහවුරු කරන්න බැහැ.”  

පසුගිය එංගලන්ත තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන රොශේන් සිල්වා මෙම තරගය සඳහා එක් කර තිබුණේ නැහැ. ඒ පිළිබඳව Grant Flower දරන්නේ මෙවන් අදහසක්.

“මම ඔහු පුහුණුවීම්වල දී ක්‍රීඩා කරන ආකාරය දැකලා තියනවා. ඔහු හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒත් මට ක්‍රීඩකයන් තෝරාගැනීම ගැන අදහස් දක්වන්න බැහැ. තේරීම් කමිටුව, Mickey සහ නායකයා තීරණය කළොත් ඔහු ක්‍රීඩා කරන්න ඕනේ කියලා ඔහු ක්‍රීඩා කරාවි. අපි ගත්තොත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම, පුහුණුවීම්වල ක්‍රීඩා කිරීම සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීම අතර ලොකු වෙනසක් තියනවා. ඔහු දඟපන්දු යවන්නන්ට හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු එංගලන්තයට එරෙහිව කලින් හොඳින් ක්‍රීඩා කළා. අපි බලමු මොකද වෙන්නේ කියලා.”

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ දී අසාර්ථක වුවද එංගලන්ත කණ්ඩායම තණතීරුවේ හැසිරීම මනාව තේරුම්ගෙන ක්‍රීඩා කළා. පළමු දිනය නිමා වන විට එංගලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 127 ක් වාර්තා කරගෙන සිටි අතර පිටියේ සිටි Joe Root සහ Jonny Bairstow තුන්වැනි කඩුල්ල සඳහා ශතක සම්බන්ධතාවක් ගොඩනඟා තිබුණි.

“එංගලන්ත පිතිකරුවන් වුන Joe Root සහ Jhonny Bairstow ඉතාමත් දක්ෂ ක්‍රීඩකයන්. ඔවුන් තත්ත්වයට අනුගත වෙලා ක්‍රීඩා කළා. නරක පන්දු මඟහැරලා හොඳින් ක්‍රීඩා කළා. Sweep පහර හොඳින් යොදාගන්න ඔවුන් සමත් වුනා. ශ්‍රී ලංකා පිතිකරුවන් සාමාන්‍යයෙන් දඟපන්දුවලට හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්. එංගලන්ත පිතිකරුවන් අද ඔවුන්ට පෙන්වුවා දඟ කැවෙන තණතීරුවක කොහොමද ක්‍රීඩා කරන්න ඕනේ කියලා.”

“මම හිතනවා අපේ ක්‍රීඩකයන් පාඩමක් ඉගෙන ගනීවි කියලා. දෙවෙනි ඉනිමේ දී හොඳින් ක්‍රීඩා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.” 

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<