යුපුන් සහ තරුෂි නව මලල ක්‍රීඩා තරග වාරය වෙනුවෙන් සුබ ලකුණු පෙන්වයි!

79

2025 වසර සඳහා මලල ක්‍රීඩා ඉසව්වල ආරම්භයට සුබ බලාපොරොත්තු එක් කරමින් ගෙවුණු දින දෙක තුළ දී (17 සහ 18) යුපුන් අබේකෝන් සහ තරුෂි කරුණාරත්න ක්‍රීඩා පිටියට පිවිසුණා. 

මෙහි දී ඔවුන් විසින් නව වසර වෙනුවෙන් සුබ ආරම්භයන් ලබා ගැනීමට සමත් වීමත් විශේෂත්වයක්. 

පසුගිය සිකුරාදා (17) තරුෂි කරුණාරත්න විසින් ඇමරිකාවේ Tennessee හිදි පැවැත්වුණු Vanderbilt Indoor Invitational 2025 තරගාවලියේ දී කාන්තා මීටර් 1000 ඉසව්ව වෙනුවෙන් Tulane විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් තරග වැදුණා. 

ඉසව්වේ පළමු තරගයට සහභාගී වූ ඇය මෙහි දී  මිනිත්තු 2.49.04ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එම තරග නිමි කාලය ඇයට හත් වැනි ස්ථානය හිමි කර දුන්නා. 

තම තරග වටයේ දී තරුෂි හත් වැනි ස්ථානයට පත් වීමට අමතරව, සමස්ත ඉසව්ව වෙනුවෙන් පැවැත්වුණු තරග වට පහක් නිම වන විටත් ඇය ක්‍රීඩිකාවන් 42ක් අතුරින් 07 වැනි ස්ථානයේ ම රැඳී සිටීම විශේෂත්වයක්. 

මේ අනුව විදෙස් අධ්‍යාපනය ලැබීම සඳහා ඇමරිකාවට පය තැබූ තරුෂි සිය මලල ක්‍රීඩා අනාගතය වෙනුවෙන් මෙම නව වසරේ දී සුබ බලාපොරොත්තු නිර්මාණය කිරීමට එසේ සමත් වුනා. 

මේ අතර ඊයේ (18) දිනයේ දී යුපුන් අබේකෝන් ද ඉතාලියේ දී ධාවන පිටියට පිවිසුණා. Memorial Alessio Giovannini තරගාවලියට සහභාගී වූ යුපුන් විසින් තරග වට දෙකකින් සමන්විත වූ පිරිමි මීටර් 60 ඉසව්වේ පළමු තරග වටයට සහභාගී වුනා. 

මෙහි දී ඔහු විසින් ඉසව්වේ සිව්වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනේ තත්පර 6.68ක තරග නිමි කාලයක් වාර්තා කරමිනුයි. 

එමෙන්ම සමස්ත ඉසව්වට සහභාගී වූ තරගකරුවන් 14 දෙනෙකු අතුරින් ද යුපුන්ගේ තරග නිමි කාලය සිව්වැනි ස්ථානයේ ම රැඳීම විශේෂත්වයක්. 

දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<