කිර්ගිස්තානයට ගිය සැමට පදක්කම්

218

පසුගිය 17 සහ 18 යන දිනයන්වල දී කිර්ගිස්තානයේ බිෂ්කොක් නුවර දී පැවැත්වූ කිර්ගිස්තාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 3 සමඟින් පදක්කම් 7ක් දිනා ගැනීමට සමත් විය.

මොහොමඩ් අශ්රෆ්, හෂිනි ප්‍රබෝදා බාලසූරිය, අරවින්ද සමරනායක හා ග්‍රේෂන් ධනංජය යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේ දී රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

හෂිනිට සහ අශ්රෆ්ට රන් පදක්කම්

ඊයේ කිර්ගිස්ථානයේ බිෂ්කෙක් නුවර දී ආරම්භ වූ කිර්ගිස්ථාන විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය..

මොහොමඩ් අශ්රෆ් පිරිමි මීටර් 100 ඉසව්ව, තත්පර 10.51කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත් අතර එය ඔහුගේ මෙවර තරග වාරයේ වාර්තා කළ හොඳම කාලය ලෙස වාර්තා වේ.

තුන් පිම්ම ඉසව්වෙන් ද ශ්‍රී ලංකාව‍ට රන් පදක්කමක් දිනා දීමට හෂිනි ප්‍රබෝදා බාලසූරිය සමත් විය. එහි දී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 12.93ක්. පසුගිය දා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ  තරග වැදුණු ඇය මීටර් 13.20 දක්ෂතාවයක් දක්වමින් මෙම ඉසව්වේ නව වාර්තාවකට හිමිකම් කියන්නට සමත් විය.

මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගාවලියට සහභාගී වූ අරවින්ද සමරනායක තත්පර 52.53ක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙම විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ දී දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.43ක දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම හිමි කර ගැනීමට ග්‍රේෂන් ධනංජය සමත් විය. ග්‍රේෂන් අවුරුදු 23න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වේ මීටර් 7.83ක වාර්තාවක් තැබූ ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ අතීත කරුණාසිංහ තුන් පිම්ම ඉසව්වට සහභාගී වෙමින් මීටර් 15.74ක දක්ෂතාවයන් පෙන්වමින් රිදී පදක්කමට හිමිකම් කීවේය. දුලාංජලී රණසිංහ උස පැනීමේ ඉසව්වෙන් මීටර් 1.80ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා ගත් අතර එච්. එම්. එස්. කුමාර මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගන්නා ලදි.

ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගී වූ මෙම තරගාවලියේ සියලුම ක්‍රීඩකයින් පදක්කම් ලබා ගැනීමත් විශේෂ කරුණකි.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට