ජෝන් ටාබට් කනිෂ්ඨ තරගාවලියේ පළමු දිනයේදීම වාර්තා සමකිරීමක්

476
කනිශ්ඨ ජෝන් ටාර්බට් ක්‍රීඩා උළෙලේ වාර්තාවක් සමකල සදීපා හෙන්ඩර්සන් ක්‍රීඩිකාව 54 වැනි කනිශ්ඨ ජාතික ක්‍රීඩා උළෙල නියෝජනය කරමින්.
කනිශ්ඨ ජෝන් ටාර්බට් ක්‍රීඩා උළෙලේ වාර්තාවක් සමකල සදීපා හෙන්ඩර්සන් ක්‍රීඩිකාව 54 වැනි කනිශ්ඨ ජාතික මලල ක්‍රීඩා උළෙල නියෝජනය කරමින්.

47 වන වරට පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (22) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. අති විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ආරම්භ කෙරුනේ අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන සහ ක්‍රීඩා පිලිබඳ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහාතාගේ ප්‍රධානත්වයෙනි.

පසුගිය ලිපි: සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වැඩි ගෞරවය බස්නාහිර පළාතට

උදෑසන 8.30ට පමණ ක්‍රීඩා උළෙල ආරම්භ වූයේ සාම්ප්‍රදායික සමාරම්භක උත්සවයකිනි. සුනිල් ජයවීර මහතා ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ වීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඉසව් ආරම්භ කෙරුනේ උදෑසන 9න් පසුවයි.

ගේට්වේ ජාත්‍යන්තර පාසලේ නැගී එන ක්‍රීඩා තාරකාවක් වන සදීපා හෙන්ඩර්සන් මෙවර ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා ගත්තේ තරග වාර්තා සම කිරීමක්ද සමගයි. වයස අවුරුදු 15න් පහල බාලිකා දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ සදීපා එහිදී මීටර් 5.32ක දක්ෂතාවක් වාර්තා කිරීමට සමත් විය. ඇය විසින් මෙහිදී සම කරනු ලැබුවේ පසුගිය වසරේ ජෝන් ටාබට් තරගාවලියේදී ප්‍රසාදි ලක්ෂානි ක්‍රීඩිකාව විසින් පිහිටවූ වාර්තාවයි. සදීපා හෙන්ඩර්සන් පසුගිය සතියේ නිමාවූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී ද දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගන්නට සමත් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ අනාගතය පිලිබඳ විශාල සැලසුම් ඉදිරිපත් කරන මෙවන් සමයක අනාගත ක්‍රීඩා තරු බිහිවන තරගාවලි වල ගුණාත්මක භාවය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ. උදාහරණයක් ලෙස ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ආසන්නයේ ම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග යොදා ගැනීම හේතුවෙන් වයස් කාණ්ඩ කිහිපයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මහනුවර පැවති දින 5ක තරගාවලියකට පසු නිසි විවේකයක් ලබා ගැනීමෙන් තොරවම යලි ඇඹිලිපිටිය බලා පිටත්ව යාමට සිදුව තිබුණි.

එමෙන්ම මෙම තරගාවලියේදීද සංවිධායකයන් හට පාලනය කර ගත නොහැකි තරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණි. ඇතැම් තරග ඉසව් වල මූලික වටයේ තරග සඳහා එක්ව සිටි අති විශාල ක්‍රීඩක පිරිස හේතුවෙන් ඉසව්වකට සහභාගී වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පැය ගණන් ක්‍රීඩාංගනයේ දැඩි අවු රශ්මිය මධ්‍යයේ රැඳී සිටින්නට සිදුවිය. මීටර් 200 වැනි ඇතැම් ඉසව් සඳහා මූලික වටයේ තරග 30කටත් අධික ප්‍රමාණයක් පැවැත්වීමට සිදුවීම ඊට හේතුවයි.

එමෙන්ම ඇතැම් පැනීමේ ඉසව් වලදී පළමු උත්සාහයෙන් පසු එම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට තම දෙවන උත්සාහය සඳහා පැයකට වැඩි කාලයක් බලා සිටීමට සිදුවූ අවස්ථා සම්බන්ධයෙන්ද පුහුණුකරුවන් චෝදනා කරයි. මෙම ප්‍රමාද වීම් හේතුවෙන් පළමු දිනයට අදාළ ඉසව් සියල්ල අවසන් කර ගැනීමට ද සංවිධායකයන් හට නොහැකි වූ අතර එම ඉසව් දෙවන දිනයට සඳහා යොදා ගන්නට කටයුතු කරන ලදී. මෙම කරුණු හේතුවෙන් ලබන වසරේ තරගාවලිය සඳහා මූලික තේරීමක් හෝ එවන් වෙනත් ක්‍රමවේදයක් යොදා ගැනීම පිලිබඳ සංවිධායකයන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.

පළමු දිනයේ තරග කිහිපයක ප්‍රතිඵල

 වයස අවුරුදු 15න් පහල – බාලිකා – දුර පැනීම 

  • රන් පදක්කම – සදීපා හෙන්ඩර්සන් (තරග වාර්තා සම කිරීමකි)- ගේට්වේ ජාත්‍යන්තර පාසල – මීටර් 5.32
  • රිදී පදක්කම – ඒ. බී. නිල්මිණි – විහාරගල මහා විද්‍යාලය – මීටර් 5.05
  • ලෝකඩ පදක්කම – සනාලි යස්විනා – ආවේ මරියා කන්‍යාරාමය – මීගමුව – මීටර් 5.03

 වයස අවුරුදු 15න් පහල – බාලිකා – හෙල්ල විසි කිරීම 

  • රන් පදක්කම – සරීෂා ගුණසේකර – කොළඹ කාන්තා විද්‍යාලය – මීටර් 29.86
  • රිදී පදක්කම – පූර්ණිමා සඳරුවනි – සෙවන්ත්ඩේ ඇඩ්වෙන්ටිස් උසස් විද්‍යාලය – කඳාන – මීටර් 25.74
  • ලෝකඩ පදක්කම – මේනුකා සෝමසිරි – කහවත්ත මාධ්‍ය මහා විද්‍යාලය – මීටර් 25.61

 වයස අවුරුදු 14න් පහල – බාලිකා උස පැනීම 

  • රන් පදක්කම – මාෂා ප්‍රනාන්දු – ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය – මොරටුව – මීටර් 1.51
  • රිදී පදක්කම – යුහන්සා හේවාගමගේ – කොළඹ මියුසියස් විද්‍යාලය – මීටර් 1.51
  • ලෝකඩ පදක්කම – නිලූෂිකා හපුආරච්චි – කුලරත්න මහා විද්‍යාලය – ඇඹිලිපිටිය – මීටර් 1.47

 වයස අවුරුදු 14න් පහල – බාලිකා – හෙල්ල විසි කිරීම 

  • රන් පදක්කම – අයෝමි රසාංජලි – ජෙනින්ස් ජාත්‍යන්තර පාසල – මීටර් 25.21
  • රිදී පදක්කම – පබසරා සන්දීපනී – බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය – මීටර් 21.50
  • ලෝකඩ පදක්කම – ප්‍රභූෂි උපේක්ෂා – විද්‍යා විද්‍යාලය – හාලි ඇල – මීටර් 21.26

 වයස අවුරුදු 14න් පහල – බාලක – හ‍ෙල්ල විසි කිරීම 

  • රන් පදක්කම – ගීනුක රාජපක්ෂ – ඕවිටිගම බෝධිරාජ ම. වි. – පූගොඩ – මීටර් 43.59
  • රිදී පදක්කම – සමිඳු නිමන්ත – රත්නාලෝක ම. වි. – රක්වාන – මීටර් – 43.10
  • ලෝකඩ පදක්කම –  අචින්ත වීරකෝන් – ශා. සෙබස්තියන් විද්‍යාලය – මොරටුව – මීටර් 39.19

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට