සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ වැඩි ගෞරවය බස්නාහිර පළාතට

591
32nd All island School Games 2016 day 05 report

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මහෝත්සවය වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල ඉකුත් 13 වනදා උත්වසවාකාරයෙන් මහනුවර බෝගම්බර දී ආරම්භ වුනු අතර දින 5ක් පුරා පැවති තරගාවලිය අද (17) සන්ද්‍යාවේදී විචිත්‍රවත් සමාප්ති උළෙල‍ෙකින් පසුව අවසන් විය.

පසුගිය ලිපි: රිද්මා නිශාදි වසර විස්සක් පැරණි වාර්තාවක් බිඳ දමයි

තැපැල් හා මුස්ලිම් කටයුතු අමාත්‍ය එම්. එච්. එම්. හලීම් මහතා හා සරත් ඒකනායක මහතා එහි ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී විය .මහනුවර පාසල් විසින් සංවිධානය කොට තිබුණු විචිත්‍රවත් අංග වලින් උළෙල තවත් වර්ණවත් විය. දින පහක් පුරා පැවැති තරග වලින් ජයග්‍රහණ ලබාගත් සිසුන් හා පාසල් වලට ජය සංකේත හා සහතික පත්‍ර බෙදා දීමත් ආරාධිතයින් විසින් සිදුකරනු ලැබීය.

13 වනදායින් ඇරඹි දින 05ක් පුරාවට පැවති තරගාවලියේ සමස්ත ජයග්‍රහකයින් අද ප්‍රකාශයට පත් කෙරුණේ පහත පරිදිනි,

  • 15න් පහල බාලක:  හලාවත ශාන්ත මරියා විද්‍යාලය (ලකුණු 43)
  • 15න් පහල බාලිකා: කොළඹ කාන්තා විද්‍යාලය (ලකුණු 33)
  • 17න් පහල බාලක: ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය (ලකුණු 60)
  • 17න් පහල බාලිකා: වලල ඒ.රත්නායක විද්‍යාලය (ලකුණු 61)
  • 19න් පහල බාලක: මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය (ලකුණු 59)
  • 19න් පහල බාලිකා: වලල ඒ.රත්නායක විද්‍යාලය (ලකුණු 63)
  • 21න් පහල බාලක: වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලය සහ කෑගල්ල ශාන්ත මාරියා විද්‍යාලය (ලකුණු 37)
  • 21න් පහල බාලිකා: කල වලල ඒ.රත්නායක විද්‍යාලය (ලකුණු 67)

එමෙන්ම සමස්ත බාලක ශූරතාවය දිනා ගනු ලැබූවේ බස්නාහිර පලාත නියෝජනය කල මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයයි. ඔවුන් ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 100ක්.

මෙය ඔවුන් විසින් ලබා ගත් 07 වන බාලක ශූරතාවය යි.

සමස්ත බාලිකා ශූරතාවය දිනාගනු ලැබුයේ ලකුණු 231ක් ලබාගත් මධ්‍යම පලාත නියෝජනය කල වලල ඒ. රත්නායක විද්‍යාලයයි. ඔවුන් බාලිකා ශූරතාවය දිනාගත් 17 වන අවස්තාව මෙයයි.

සමස්ත තරගාවලියේම දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙසින් අභිසෙස් ලැබුවේ වයඹ පලාත නියෝජනය කල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ හෂිනි ප්‍රබෝධා ය. ඇය අවුරුදු 19න් පහල බාලිකා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 12.66ක වාර්තා කරමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

සමස්ත තරගාවලියේම දක්ෂතම ක්‍රීඩකයා ලෙස අභිසෙස් ලැබුවේ 19න් පහල බාලක තුන් පිම්ම ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහි කල මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ චමල් කුමාරසිරි ය.

ඊට අමරතව සහය දිවීමේ බාලක සමස්ත ශූරතාවය දිනාගනු ලැබුයේ ලකුණු 35ක් ලබාගත් කොළඹ බෙනඩික්ට් විද්‍යාලයයි.

එහි බාලිකා ශූරතාවය දිනාගනු ලැබුවේ ලකුණු 31ක් ලබාගත් වලල ඒ. රත්නායක විද්‍යාලය විසිනි.

දින 5ක් නිමාවී සමස්ත තරගාලිය අවසන් වන විට සබරගමුව පලාත තෙවැනි ස්ථානය දිනා ගත්තේ බාලකයින් විසින් රැස්කල ලකුණු 126ක් සහ බාලිකාවන් විසින් රැස්කල ලකුණු 178ක් සමඟින් මුළු ලකුණු 304ක් ලබා ගනිමිනි.

ලකුණු 492ක් ලබා ගනිමින් සත්කාරක පලාත වුනු මධ්‍යම පලාත දෙවැනි ස්ථානය හිමිකර ගත්තේ බාලකයින් විසින් රැස් කල ලකුණු 213ක් සහ බාලිකාවන් විසින් රැස්කල ලකුණු 279ත් සමඟිනි.

පලාත් ශූරතාවය දිනාගනු ලැබූවේ බස්නාහිර පලාත විසිනි. එහිදි බස්නාහිර පලාත් බාලකයින් ලකුණු 502ක් සහ බාලිකාවන් ලකුණු 353ක් රැස් කරමින් සමස්ත ලකුණු සංඛ්‍යාව 855ක් ලබා ගනිමින් පලාත් අතුරින් පෙරමුණ ගැනීමට සමත් විය.

අද දිනය නිමාවන විට සමස්ත තරගාවලියේම නව වාර්තා 14ක් බිහිව තිබීම කැපිපෙනෙන සිදුවීමකි.

  • 15න් පහල බාලක මීටර් 100 ඉසව්වේදී පුත්තලම ශාන්ත මරියා විද්‍යාලයේ එස්. එම්. පෙරේරා විසින් තත්පර 11.2ක් වාර්තා කරමින් නව වාර්තාවක් පිහිටු වීම.
  • 15න් පහල බාලක මීටර් 200 ඉසව්වේදී තත්පර 22.9ක් වාර්තා කරමින් පුත්තලම ශාන්ත මරියා විද්‍යාලයේ එස්. එම්. පෙරේරා විසින් නව වාර්තාවක් පිහිටුවීම.
  • 15න් පහල බාලක මීටර් 100 කඩුළු මතින් දිවීම ඉසව්වේ මහනුවර බෙරවට්ස් විද්‍යාලයේ අනුරාධ ශ්‍රීමාල් තත්පර 13.6ක වාර්තාව පිහිටුවීම.
  • 17න් පහල බාලක මීටර් 100 ඉසව්වෙන් කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ එම්. යශෝධසිංහ විසින් තත්පර 11.0 ක් වාර්තා කරමින් පිහිටවු වාර්තාව.
  • 17න් පහල බාලක හෙල්ල විසි කිරීම ඉසව්වෙන් මීටර් 66.96ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ ඩී. රණසිංහ විසින් පිහිටුවන ලද වාර්තාව.
  • 19න් පහල බාලක මීටර් 400 කඩුළු මතින් දිවීම ඉසව්වෙන් මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ උදිත චන්ද්‍රසේන විසින් පිහිටුවන ලද වාර්තාව.
  • 19 න් පහල තුන් පිම්ම ඉසව්වෙ මීරිගම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ චමල් චන්ද්‍රසිරිගේ වාර්තාව
  • 19න් පහල බාලක රිටි පැනීම ඉසව්වේ යාපනය අරුණෝදය විද්‍යාලයේ කේ. නප්තලි ජොයිසන් පිහිටුවන ලැබු වාර්තාව.
  • 17න් පහල බාලිකා මීටර් 100 ඉසව්වෙ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ තාරකා දිව්‍යාංජලී විසින් පිහිටුවන ලද වාර්තාව.
  • 19න් පහල බාලිකා මීටර් 400 කඩුළු මතින් දිවීම ඉසව්වෙන් අඹගමුව මධ්‍ය විද්‍යාලයේ වයි. දිව්‍යාංජලී විසින් පිහිටවූ වාර්තාව.
  • 19න් පහල බාලිකා උස පැනීම ඉසව්වෙන් ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ පූර්ණිමා ජයමාලි විසින් වාර්තාවක් පිහිටවනු ලැබීම.
  • 19න් පහල බාලිකා දුර පැනීම ඉසව්වෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ රිද්මා නිෂාදි විසින් මීටර් 5.85ක් පිහිටවූ නව වාර්තාව.
  • 21න් පහල බාලිකා රිටි පැනීම ඉසව්වෙන් අනිතා විසින් පිහිටුවන ලද වාර්තාව.

එම වාර්තා 14 වේ.

දින 05ක් පුරාවට පාසල් ක්‍රීඩකයන් 5000ක සහභාගීත්වයෙන් ඇරඹුණු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයට නොමැකෙන මතක සටහන් රාශියක් එක් කරමින් අවසන් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට