කිමිකෝගේ වාර්තාවක් අලුත් කරමින් පළමු දිනය අවසන් වේ

475

හතළිස් පස්වැනි “මයිලෝ ශ්‍රී ලංකා පාසල් වයස් සීමා ජල ක්‍රීඩා තරගාවලිය” ඊයේ (6) උදෑසන සුගතදාස පිහිනුම් තටාකාංගනයේ දී ආරම්භ වූ අතර පළමු දිනය අවසාන වන විට තරග වාර්තා 8ක් බිහිවීම කැපී පෙනේ.

මයිලෝ ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම, අලංකාර සමාරම්භක උත්සවයක් සමඟින් තරගාවලියේ ආරම්භය සනිටුහන් කළ අතර මයිලෝ සමාගමේ අතිරේක ලේකම් වයි. ඒ. එන්. ඩී. යාපා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සමාරම්භක උත්සවයට සහභාගී විය. නෙස්ලේ ලංකා සමාගමේ ව්‍යාපාර සම්බන්ධතා පිළිබඳ උපසභාපති බන්දුල එගොඩගේ මහතා ද එම උත්සවයට සහභාගී විය.

පිහිනුම් ප්‍රවීණයෝ සමඟින් මයිලෝ 25 වසරක අභිමානය සමරන්නට සූදානම්

ශ්‍රී ලංකා පාසල් ජය ක්‍රීඩා සංගමයත්, අධ්‍යාපන අමාත්‍යාංශයත්, මයිලෝ එකට එක්ව…

පළමු දිනයේ ඉසව් 52ක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර බාලක ජ්‍යෙෂ්ඨ අංශයේ තරග මීටර 1500 නිදහස් ආර ඉසව්වෙනුත්, බාලිකා ජ්‍යෙෂ්ඨ ඉසව් මීටර 800 නිදහස් ආර ඉසව්වෙනුත් ආරම්භ විය.

මහමායා බාලිකා විද්‍යාලයේ උත්තමා සිල්වා බාලිකා මීටර 800 නිදහස් ආර ඉසව්වේ නව ශ්‍රී ලංකා පාසල් වාර්තාවක් පිහිටුවීමට සමත් විය. සුනේත්‍රා විජේරත්න 2012 දී පිහිටුවා තිබූ මිනිත්තු 11:06.26ක වාර්තාව වසර 6කට පසු මිනිත්තු 10:42.53 කාලයක් වාර්තා කාරමින් බිඳ දැමීමට උත්තමා සමත් විය.

බාලිකා වයස අවුරුදු 19න් පහළ මීටර 50 නිදහස් ආර ඉසව්වෙන් වසර තුනක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට කොළඹ විසාකා විද්‍යාලයේ සඳු සවින්දි සමත් වූයේ තත්පර 28.22ක කාලයකින් එම ඉසව්ව නිමා කරමිනි. මෙම ඉසව්වේ පෙර පැවති වාර්තාවට හිමිකම් කීවේ අමන්දා ජයසේකරයි.

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ෂෙනාලි හේරත් තත්පර 32.33කින් බාලිකා වයස අවුරුදු 19න් පහළ මීටර 50 සමනල ආර ඉසව්ව නිමා කරමින් නව පාසල් වාර්තාවක් පිහිටුවීමට සමත් වුවාය. 2015 වසරේ පිහිටුවා තිබූ තත්පර 32.72ක වාර්තාවක් ඇය විසින් බිඳ දැමූ අතර දිනයේ දෙවන ජයග්‍රහණය ලෙස බාලිකා වයස අවුරුදු 19න් පහළ මීටර 200 සමනල ආර ඉසව්ව ද මිනිත්තු 3:02.89 කාලයකින් ජය ගැනීමට ෂෙනාලි සමත් විය.

පළමු දිනයේ සිව්වැනි වාර්තාව ලෙස 19න් පහළ මීටර් 400 බාලිකා මිශ්‍ර සහය පිහිනුම් ඉසව්වෙන් මිනිත්තු 05:20.40 කාලයක් වාර්තා කරමින් 2016 වසරේ මහමායා බාලිකාවන් විසින් පිහිටුවා තිබූ වාර්තාවක් බිඳ දැමීමට විසාකා කණ්ඩායම සමත් විය.

තවද වයස අවුරුදු 17න් පහළ මීටර් 100 පසුපස ආර ඉසව්වෙන් නව වාර්තාවක් බිහිකරන්නට රමුදි සමරකෝන් සමත් වූයේ මිනිත්තු 01:20.27 කාලයක් වාර්තා කරමිනි. 2017 වසරේ මනෝලි වීරක්කොඩි සතුවූ වාර්තාව බිඳ දැමු රමුදි කොළඹ විසාකා විදුහල නියෝජනය කළාය.

දිනයේ වාර්තා වූ එකම බාලක තරග වාර්තාවට හිමිකම් කීවේ ආනන්ද විද්‍යාලයේ කේ. සී. දල්පන්දු යි. 19න් පහළ මීටර් 100 පසුපස ආර ඉසව්ව නියෝජනය කළ ඔහු මිනිත්තු 1:11.30 කාලයක් වාර්තා කරමින් බිඳ දැමුවේ 2015 වසරේ යහියා ජෆර් විසින් තබා තිබූ වාර්තාවයි.

ශ්‍රී ලාංකේය දක්ෂ පිහිනුම් ශූරියක වන කිමිකෝ රහිම් විසින් තබා තිබූ වාර්තාවක් අලුත් කරන්නට 15න් පහළ මීටර් 200 පසුපස ආර ඉසව්ව නියෝජනය කළ ගංගා සෙනෙවිරත්න සමත් වූයේ 2:36.80 කාලයක් වාර්තා කරමිනි.

දිනයේ අවසන් වාර්තාව ලෙස 19න් පහළ බාලිකා මීටර් 200 පසුපස ආර නියෝජන කළ අස්කියා උසුප් (British School, Colombo) මිනිත්තු 2:39.99 වාර්තා කරමින් තරගය අවසන් කළ අතර එහි දී ඇය විසින් බිඳ දැමුවේ 2013 වර්ෂයේ දී ඉෂානි එරන්දිකා විසින් පිහිටවු වාර්තාවකි.

පළමු දිනයේ සම්පූර්ණ ලකුණු සටහන සඳහා පිවිසෙන්න

පළමු දිනය අවසානයේ 19 වතාවක් ශූරතාවය දිනූ ශූරියන් වන මහමායා බාලිකා විද්‍යාලය ප්‍රසාද ලකුණු 173ක් සමඟින් පළමු ස්ථානයේ සිටින අතර පසුගිය වසරේ අනුශූරියන් වූ විශාකා විද්‍යාලය ලකුණු 121ක් සමඟින් දෙවන ස්ථානයේ ද, ලකුණු 79ක් සමඟින් කාන්තා විද්‍යාලය තෙවැනි ස්ථානයේ ද රැඳී සිටියි.

ප්‍රසාද ලකුණු 164.50ක් සමඟින් වසර 14ක් ශූරතාව දිනූ සාන්ත ජෝසප් විද්‍යාලය බාලක අංශයේ පළමු ස්ථානයේ සිටින අතර ලකුණු 84ක් සමඟින් ආනන්ද විද්‍යාලය ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැඳී සිටියි. ආනන්ද විද්‍යාලයට වඩා ලකුණු 4ක් පිටුපසින් රාජකීය විද්‍යාලය ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

පළමු දිනයේ මෙන්ම දෙවන දිනයේ ද සියලු තරග වාර්තා ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<