සර්වේසස් – රිච්මන්ඩ් අර්ධ අවසන් පූර්ව වටයට

1380

සිංගර් කුසලාන වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ සීමිත පන්දුවාර තරග දෙකක් ඊයේ (03) පැවැත්විය. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති මෙම තරග දෙකෙන් එකක් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතරත්, අනෙක් තරගය මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර ද පැවැත්විය.

සහෝදරයන්ගේ සංග්‍රාමයේ සියලු කුසලාන කුරුඳුවත්ත ක්‍රීඩකයෝ රැගෙන යයි

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය …..

ගාල්ල රිච්මන්ඩ් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක අතර තරගය

මෙම තරගයේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිත්‍ය සිරිවර්ධනගේ දක්ෂ පිතිහරඹය සහ සඳුන් මෙන්ඩිස්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 31ක ජයක් හිමි වූ අතර ඒ අනුව ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සුවිශේෂී වේ.

ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී ඊයේ (03) පැවති මෙම තරගයෙන් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් රිච්මන්ඩ් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 207ක් රැස් කළේය.

ඒ අනුව රිච්මන්ඩ් ඉනිම වෙනුවෙන් වර්ණවත් පිතිහරඹයක් දියත් කළ ආදිත්‍ය සිරිවර්ධන ලකුණු 81ක් ලබා ගත් අතර සඳුන් මෙන්ඩිස් ලකුණු 30ක් ද රැස්කළේය.

අම්බලන්ගොඩ ධර්මාශෝකය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ කවිඳු නදීශාන් ලකුණු 54කට කඩුලු 3ක් ද, අභීත අමේධ කඩුලු 2ක් ලකුණු 9කට ද දවා ගත්තේය.

ඒ අනුව ධර්මාශෝකයින්ට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 208ක පහසු ඉලක්කයක් හඹා යාමට තිබුණ ද එය හඹා යා නොහැකි ඉලක්කයක් බවට පරිවර්තනය කිරීමට රිච්මන්ඩ් විද්‍යාලයේ සඳුන් මෙන්ඩිස් පියවර ගත්තේය. ඒ අනුව ධර්මාශෝක ඉනිමේ කඩුලු 5ක් ලකුණු 36කට බිඳ දැමීමට ඔහු සමත් විය.

ධර්මාශෝක ඉනිම වෙනුවෙන් පිත්තෙන් ලකුණු 38ක් සහ ලකුණු 32ක් ලබා ගැනීමට සමීර සනුල සහ අරෝෂණ ද සොයිසා සමත් වූවද සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව පසුකර යාමට හෝ නොහැකි විය.

ඒ අනුව ධර්මාශෝක විද්‍යාලයේ නියමිත පන්දුවාර 50 කඩුලු 9ක් දැවී ලකුණු 176ක් ලබා සිටිය දී අවසන් විය.

ධර්මාශෝකයට එරෙහිව සඳුන්ට අමතරව දිලුම් සුදීර ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තේය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය: සියල්ලන් දැවී ලකුණු 207 (50) ආදිත්‍ය සිරිවර්ධන 81, සඳුන් මෙන්ඩිස් 30, දිමුත් සඳරුවන් 24, කවිඳු නදීශාන් 3/54, අභීත අමෝද 2/09, අරෝෂණ ද සොයිසා 2/50

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය:- කඩුලු 9ක් දැවී ලකුණු 176 (50) සමීන් සනුල 38, අරෝෂණ ද සොයිසා 32, දිනුක දිල්ශාන් 26, සඳුන් මෙන්ඩිස් 5/26, දිලුම් සුදීර 2/23



මාතර සර්වේසස් සහ කුරුණෑගල මලියදේවය අතර තරගය

සර්වේසස් විද්‍යාලයේ ශෂික දුල්ශාන්ගේ තුන් ඉරියව් කැපී පෙනන දක්ෂතාවය හේතුවෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් සර්වේසස් විද්‍යාලයට ලකුණු 129ක දැවැන්ත ජයක් සමඟින් අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට හැකි විය.

කාසියේ වාසිය දිනා ගනිමින් සර්වේසස් නායකයා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව සර්වේසස් පිතිකරුවන් පන්දුවාර 49යි පන්දු 4කට සියල්ලන් දැවී ලකුණු 257ක් ලබා ගත්තේය.

දක්ෂ ඉනිමක් දියත් කළ ශෂික දුල්ශාන් ලකුණු 86ක් සහ රිසිර ලක්වින් ලකුණු 31ක් සිය විද්‍යාලයේ ලකුණු පුවරුවට එක් කළේය.

මලියදේවයේ සාර්ථකම පන්දු යැවීම වාර්තා කළ නිකිල ධර්මදාස සහ චූලක අතපත්තු පිළිවෙළින් ලකුණු 38ක් සහ ලකුණු 44ක් ලබා දෙමින් කඩුලු 3 බැගින් බිඳ දැමූහ.

ඒ අනුව ලකුණු 258ක ඉලක්කයක් හඹා යෑමට මලියදේවයන් ඉනිම ඇරඹුව ද පන්දුවාර 32යි පන්දුවක් තුල ලකුණු 128කට ඔවුන්ගේ ඉනිම අවසන් කිරීමට සර්වේසස් පන්දු යවන්නන් පියවර ගත්තේය.

මලියදේව ඉනිමේ සාර්ථක වූ එකම පිතිකරුවා කවීන් බණ්ඩාර ලකුණු 64ක් ලබා ගත්තේය. විදත් පටේපොල 32යි.

සර්වේසස් විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් ද දස්කම් දැක්වූ ශෂික දුල්ශාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17කට කඩුලු 4ක් බිඳ දැමීය. මලියදේවයන් දැඩි පීඩනයකට නතුකරමින් පන්දු යැවූ චේතක දෙනුවන් ලකුණු 9කට කඩුලු 2ක් දවා ගත්තේය.

මාතර සර්වේසස් විද්‍යාලය: සියල්ලන් දැවී 257 (49.4): ශෂික දුල්ශාන් 86, රිසිර ලක්වින් 31, කේෂර නුවන්ත 28, චේතක දෙනුවන් 27, නවීන් සසිත 26, චූලක අතපත්තු 3/44, නිකිල ධර්මදාස 3/38, විදත් පටේපොල 2/37

කුරුණෑගල මලියදේව විද්‍යාලය: සියල්ලන් දැවී 128 (32.1): කවීන් බණ්ඩාර 64, විදත් පටේපොල 32, ශෂික දුල්ශාන් 4/17, නවීන් සසිත 2/26, චේතක දෙනුවන් 2/09

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<