ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉහළම දස්කම දක්වයි

5019

2019 ආසියානු කුසලාන වයස අවුරුදු 23න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලිය මේ වන විට මියන්මාරයේ දී පැවැත්වේ. එහි අර්ධ අවසන් පූර්ව වටයේ හත්වැනි හා අටවැනි ස්ථාන සඳහා වන තරගය අද (11) ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්විය. එම තරගය තරග වට 3-0ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගාවලියේ හත්වැනි ස්ථානය දිනා ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. 

ශ්‍රී ලංකාව තෙවැනි වටයේ දී චීනය අන්දමන්ද කරයි

2019 ආසියානු 23න් පහළ පිරිමි වොලිබෝල් තරගාවලියේ අද (10) චීනය සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට….

පළමු තරග වටයේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ කරට කර සටනක නිරත වෙමිනි. විටෙක ලකුණු පුවරුව 21-19ක් ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායමට පෙරමුණ ගෙන දෙමින් දිස්වූ නමුත් පසුව එය 24-24ක් ලෙස සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

24 වන ලකුණ ලබා ගැනීමෙන් පසුව පන්දු පිරිනැමීමේ දී සිදු වූ අසාර්ථකත්වය නිසා ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 25-24 ක් ලෙස පෙරමුණ ගත් අතර පන්දුව ඔසවා දීමේ දී සිදු වූ වැරැද්දක් නිසා එම තරග වටය ලකුණු 26-24ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය (පළමු තරග වටය: ඕස්ට්‍රේලියාව 26 – 24 ශ්‍රී ලංකාව)

දෙවන තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ දි ලබා ගත් ප්‍රබල ආරම්භය තරමක් මගහරවාගත් අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 10ක් වාර්තා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන තිබුණේ ලකුණු 03ක් පමණි. 

කෙසේ වෙතත් ලකුණු 11-06ක් ලෙස ලකුණු පරතරය අඩු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා වලින් උපරිම ප්‍රයෝජනය ලබාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම දෙවන වටය ජයග්‍රහණය කළේ ලකුණු 25-16ක් ලෙසිනි (දෙවන තරග වටය: ඕස්ට්‍රේලියාව 25 – 16 ශ්‍රී ලංකාව)

තරග වට 2-0ක් ලෙස පෙරමුණ ගනිමින් තුන්වැනි තරග වටය ආරම්භ කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට මුල් මිනිත්තු කීපයේ දී ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

සමුරායි ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පසු බසී

ආසියානු වොලිබෝල් සම්මේලනය මඟින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ ආසියානු වොලිබෝල්…

පන්දු පිරිනැමීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දුර්වල ක්‍රීඩා රටාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 17-11ක් ලෙස ලකුණු පුවරුව සටහන් කරගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මනාව අධ්‍යනය කර ඇති බව ඔවුන්ගේ ක්‍රීඩා රටාවෙන් මනාව දිස්වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනෙකුගේ ආවේණික ප්‍රහාරයන් වලට ඔවුන් හොඳින් සූදානම් වී ඇති බවත් දක්නට ලැබුණි. 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග වටයේ දී ලකුණු 18ක් වාර්තා කළ අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 25ක් වාර්තා කරමින් තරග වටය ජයග්‍රහණය කරන්නට සමත් විය. (තුන්වැනි තරග වටය: ඕස්ට්‍රේලියාව 25 – 18 ශ්‍රී ලංකාව)

ඒ සමඟින් තරගයේ ජයග්‍රහණය තරග වට 3-0 ක් ලෙස ඕස්ට්‍රේලියාව සතු වූ අතර ඔවුන් තරගාවලියේ හත්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම වයස අවුරුදු 23න් පහළ ජාත්‍යන්තර තරගාවලියක දී දැක්වූ ඉහලම දක්ෂතාවය වාර්තා කරමින් 8 වැනි ස්ථානය දිනා ගනිමින් තරගාවලිය නිමා කරන ලදි.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<