ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල සංචිතයක්

ලෝක කුසලාන සහ ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය 2023

481

මෙම 12 වැනිදා යේමනය සමඟ පැවැත්වීමට නියමිත 2026 ලෝක කුසලාන සහ 2027 ආසියානු කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ මූලික වටයේ තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම කණ්ඩායමේ නායකත්වය චරිත රත්නායකට ලබා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කර තිබෙන අතර එම කණ්ඩායමේ උපනායකත්වය චමෝද් බණ්ඩාර හට ලබා දී තිබෙනවා.

මෙම කණ්ඩායමට පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් වන සුජාන් පෙරේරා, කවිඳු ඉශාන්, මොහොමඩ් ෆසාල්, මොහොමඩ් ආකීබ් වැනි ක්‍රීඩකයින් ඇතුළත් අතර කෙටි කලක් ශ්‍රී ලංකා සංචිතය නියෝජනය නොකළ වසීම් රාසික් ද නැවත සංචිතයට කැඳවා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන යොවුන් ක්‍රීඩක ඩිලොන් ද සිල්වා හට ආබාධ තත්වයක් නිසා මෙවර තරගය අහිමි වන අතර තරග තහනමක් නිසා අසිකූර් රහමාන් හට ද මෙවර තරගයට ක්‍රීඩා කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

පසුගිය කාලසීමාවේ තරමක් කතාබහට ලක් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයින් දෙදෙනෙක් වන සංජෙයි ඇන්තනී සහ කෙවින් ඇන්තනී මෙම සංචිතය සඳහා ඇතුළත් අතර ජර්මනියේ ක්‍රීඩා කරමින් ඔවුන් ලබාගෙන තිබෙන අත්දැකීම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය සඳහා ඉතා වැදගත් වෙනවා.

එමෙන්ම තවත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙකු වන රාජමෝහන් ආදවන්ගේ නාමය ද මෙම සංචිතයට ඇතුළත් අතර ඔහුගේ සහභාගීත්වය ලියකියවිලි අනුමත වීම මත රඳා පවතිනවා.

මෙම තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අදියරේ තරගය සෞදි අරාබියේ දී ක්‍රීඩා කිරීමට නියමිත අතර දෙවැනි අදියරේ තරගයට ඔක්තෝබර් 17 වැනිදා ශ්‍රී ලංකාව තුළ සහභාගී වෙනවා.

මෙම තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<