මෝදිත – මිනෝද් සහ රොන් දිනය වර්ණවත් කරයි

Singer - MCA Super Premier League 2023

809

වෙළඳසේවා ක්‍රිකට් සංගමය සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම එක්ව 30 වැනි වරටත් සංවිධානය කරනු ලබන Singer – MCA Super Premier League 2023 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (11) කොළඹ 7, MCA ක්‍රීඩාංගණයේ දී නිමා වුනා.

Fairfirst Insurance සහ Hayleys Group A කණ්ඩායම් අතර පැවති මෙම තරගයෙන් ලකුණු 76ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Fairfirst Insurance ක්‍රීඩකයෝ සමත් වුනා. Fairfirst Insurance ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ දී ලත් දෙවැනි ජයග්‍රහණයයි මේ.

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Fairfirst ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 320ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි Hayleys කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 244ක් පමණයි. ඒ වෙද්දී ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 41ක් ඉතිරිව තිබුණා.

මෙවර තරගාවලියේ ලකුණු 300 ඉක්ම වූ පළමු අවස්ථාව නිර්මාණය කළ Fairfirst ඉනිම වෙනුවෙන් මිනෝද් භානුක සහ මෝදිත රණතුංග අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කළා. ඔවුන් දෙදෙනා එක් ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109ක දී ලකුණු 122ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වීම කැපී පෙනුණා.

නායක මෝදිත පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත් අතර මිනෝද් පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.

ඊට අමතර ව අනුක් ප්‍රනාන්දු පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 67කට කඩුලු 4ක් දවා ගනිද්දී කවිශ්ක අංජුල ලකුණු 41කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි Hayleys කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා.

රොන්, නායක අවිශ්ක ප්‍රනාන්දු එක් ව පළමු කඩුල්ලට පන්දු 53ක දී ලකුණු 65ක සබඳතාවක් ගොඩ නැගීමට ද සමත් වුනා. එම සබඳතාවය වෙනුවෙන් අවිශ්ක පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

ඊට අමතර ව සංතුශ් ගුණතිලක ද පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා. සංතුශ් සහ රොන් අතර දෙවැනි කඩුල්ලට සබඳතාව පන්දු 54ක දී ලකුණු 49ක්.

කඩුලු ලබා ගැනීමේ දී අසේල් සිගේරා ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත් අතර නුවන් තුෂාර සහ තනුක දාබරේ කඩුලු 2 බැගින් බෙදා ගත්තා.

  • Fairfirst Insurance – කඩුලු 9ක් දැවී 320 (50) තනුක දාබරේ 23, මිනෝද් භානුක 65, මෝදිත රණතුංග 81, අනුක් ප්‍රනාන්දු 45, අසේල් සිගේරා 24, උමේෂ් ලක්ෂාන් 31, ලහිරු සමරකෝන් 4/67, කවිශ්ක අංජුල 2/41
  • Hayleys Group A – සියලුම දෙනා දැවී 244 (43.1) අවිශ්ක ප්‍රනාන්දු 39, රොන් චන්ද්‍රගුප්ත 58, සංතුශ් ගුණතිලක 32, විශාද් රන්දික 23, කවිශ්ක අංජුල 19, ප්‍රවීන් ජයවික්‍රම 22, නුවන් තුෂාර 2/27, තනුක දාබරේ 2/54, අසේල් සිගේරා 4/41

Fairfirst Insurance කණ්ඩායමට ලකුණු 76ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් රැගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<