ලෝක ශූරතා කණිෂ්ට මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්

531
Athletics

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල හෙට (19) පෝලන්තයේදී ඇරඹෙයි. මේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක් එක්ව සිටියි.

ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ඉසව් 2ක පරිසාධන මට්ටම් ඉක්මවන්නට සමත්වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ ග්‍රේෂන් ධනංජයයි. වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ උසස් පෙළ හදාරන ග්‍රේෂන් මේ තරගාවලියේදී පිරිමි දුර පැනීම සහ තුන් පිම්ම ඉසව් නියෝජනය කරයි.

ඔහු තුන් පිම්ම ඉසව්වේ ලෝක කණිෂ්ඨ පරිසාධන මට්ටම ඉක්මවූයේ පසුගිය මැයි මාසයේ පැවති ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරග වාර්තාවක් සමග මීටර් 15.78 ක දක්ෂතාවක් දක්වමිනි.

එම තරගාවලියේදීම 20න් පහල දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.41ක දුරක් වාර්තා කළ ග්‍රේෂන් එම ඉසව්වේ පරිසාධන මට්ටම ඉක්මවන්නට සමත්විය.

මගේ වැඩි බලාපොරොත්තුවක් තියෙන්නේ දුර පැනීමේ ඉසව්ව සඳහා, ඒ ඉසව්වේ උපරිම දක්ෂතාවයක් දක්වල ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් අරන් ඒම තමයි මගේ එකම බලාපොරොත්තුවග්‍රේෂන් පවසයි.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලේ උදිත චන්ද්‍රසේන මෙවර ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට අවස්ථාව උදාකරගත්තේ පිරිමි මීටර් 400 කඩුලු ඉසව්වෙන්.

පසුගිය ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී උදිත මේ ඉසව්වේ පරිසාධන මට්ටම තත්ත්පරයකට ආසන්න කාලයකින් ඉක්මවා යාමට සමත් විය.

මීටර් 400 කඩුළු ඉසව්වේ ලෝක ශූරතා කණිෂ්ඨ පරිසාධන මට්ටම තත්පර 53.2ක් වූ අතර උදිත ජාතික කණිෂ්ඨ රන් පදක්කම දිනා ගත්තේ තත්ත්පර 52.28ක කාලයක් වාර්තා කරමිනි. ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියටද එක්වූ උදිත එහිදී පදක්කමක් අසලටම පැමිණියද, අවසන් කඩුල්ල තරණය කිරීමේදී ඇදවැටීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඔහුට පදක්කම අහිමි විය.

උදිත ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසුවේ තම ඉසව්වේ අවසන් ක්‍රීඩකයන් 8 දෙනා අතරට සුදුසුකම් ලැබීම තම මූලික බලාපොරොත්තුව බවයි.

පිරිමි තුන්පිම්ම ඉසව්වෙන්ම ලෝක ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරන චමල් කුමාරසිරි ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර තිබෙන්නේ මීට සති 2 කට පෙර අවසන් වූ බස්නාහිර පළාත් පාසල් මලල ක්‍රීඩා උළෙලේදී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමිනි.

චමල් මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

ලෝක ශූරතා තරගාවලියට අවසන් තේරීම් තරගය ලෙස මැයි මාසයේ පැවති ජාතික ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී චමල් පරිසාදන මට්ටම ඉක්මවා ගියත් එහිදී ඔහුට හිමිවූයේ රිදී පදක්කමයි.

එබැවින් එහි රන් පදක්කම දිනූ ග්‍රේෂන් ධනංජයට තුන් පිම්ම ඉසව්ව නියෝජනයට අවස්ථාව හිමි වුවත්, බස්නාහිර පළාත් පාසල් තරගාවලියේදී චමල් වාර්තා කළ මීටර් 16.07 ක ඉහළ දස්කම හේතුවෙන් අවසන් මොහොතේ ඔහුවත් කණ්ඩායමට එක් කරන්නට මලල ක්‍රීඩා බලධාරීන් පියවර ගෙන ඇත.

මේ තරගාවලිවයට මම සුදුසුකම් ලැබුවා කියලා මට තහවුරු වුණේ සතියකට කලින්. තරගාවලියට කල් මදි වුණත් පුහුණුවීම් කරන්න මගේ උපරිමය මම මගේ ක්‍රීඩා භූමිය තුළ සිදුකළා. ශ්‍රී ලංකාවට පදක්කමක් පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි. චමල් ThePapare.com සමගින් පැවසීය.  

ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පිලිප් රංජිත් මහතා කටයුතු කරනවා. පැනීමේ ඉසව් පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති පිලිප් රංජිත් මහතා ග්‍රේෂන්ගේ මෙන්ම උදිතගේද පෞද්ගලික පුහුණුකරු වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ සමන් කුමාර ගුණවර්ධන මහතායි.

හෙට (19) දිනයේදී ග්‍රේෂන් ධනංජය දුර පැනීමේ ඉසව්වේ මූලික වටයේ තරග සඳහා සහභාගී වීමට නියමිතයි.

අනිද්දා (20) පස්වරුවේ ග්‍රේෂන් මෙන්ම චමල් කුමාරසිරිද සහභාගී වන තුන් පිම්ම ඉසව්වේ මූලික තරග ආරම්භ වීමට නියමිතව ඇත.

21 වන බ්‍රහස්පතින්දා දින උදිත චන්ද්‍රසේන සහභාගී වන මීටර් 400 කඩුලු ඉසව්වේ මූලික තරග පැවැත්වෙයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට