ජෝන් කීල්ස්, CDB සහ Mode ජයග්‍රාහීව ඉදිරියට

29වන සිංගර් - වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීගය 2022

259
29th Singer-MCA Super Premier League 2022

29 වැනි සිංගර් – වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීගයේ තවත් තරග තුනක් අද (8) ක්‍රියාත්මක වුනු අතර එම තරගවලින් ජෝන් කීල්ස්, CDB සහ Mode ඉංජිනියර්ස් යන කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

ජෝන් කීල්ස් සහ HNB අතර ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරගයේ දී HNB ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජෝන් කීල්ස් සියල්ලන්ම දැවී ලකුණු 210ක් ලබා ගත්තා.

එහි දී ආශාන් ප්‍රියන්ජන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 48ක් ලබා ගත් අතර ඔහුගේ ඉනිමට 4 සහ 6 පහර 2 බැගින් ඇතුළත් වුනා. අකිල දනංජය ලකුණු 42යි. මේ තරගයේ දී දඟපන්දු යවන්නන් විසින් ජෝන් කීල්ස් සියලුම කඩුලු දවා ගැනීම කැපී පෙනුණු අතර ඩෙලෝන් පීරිස් ලකුණු 28කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා.

පිළිතුරු ඉනිම දියත් කළ HNB වෙනුවෙන් නැවත වරක් ඩිල්ශාන් මුණවීර (ලකුණු 80) සහ චාමර සිල්වා (ලකුණු 53) ලබා ගත් අතර එම අර්ධ ශතක ඉනිම් දෙක හැරෙන්නට ඔවුන්ගේ අනෙක් ක්‍රීඩකයින් හට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට අකිල, දුවිඳු තිලකරත්න සහ ප්‍රියන්ජන් ඇතුළු ජෝන් කීල්ස් පන්දු යවන්නන් අවස්ථාවක් ලබා දුන්නේ නැහැ.

මෙහි දී HNB ලකුණු 172කට සීමා කළ ජෝන් කීල්ස් තරග පරාජයන් දෙකකට පසුව නැවත වරක් ඔවුන්ගේ ජයග්‍රහණ මානසිකත්වයට පැමිණීමට සමත් වුනා.

මෙවර තරගාවලිය සඳහා අලුතින්ම එක්වුණු Mode ඉංජිනියර්ස් ගියවර ශූරතාවය දිනා ගත් හේලීස් පරාජය කරමින් කඩුලු 4ක ජයක් ලබා ගත්තා. එම ජයත් සමඟම දැනට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණීමට Mode ඉංජිනියරින්ට හැකි වුනා.

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ දී හේලීස් වෙනුවෙන් ලකුණු 78ක් වාර්තා කරගැනීමට කඩුලු රකින පිතිකරු විශාද් රන්දික සමත් වුනා. ඒ හැරෙන්නට ඔවුන්ගේ අනෙක් ක්‍රීඩකයින් හට මේ තරගයේ දී සාර්ථක වීමට හැකියාවක් නොලැබුණු අතර චානුක ඩිල්ශාන් සහ මිලාන් ප්‍රියානත් කඩුලු 3 බැගින් දවාගෙන දස්කම් දැක්වූවා. දුශාන් හේමන්ත කඩුලු 2යි.

ලකුණු 187ක ඉලක්කයක් හඹා ගිය Mode ඉංජිනියර්ස් මුල්පෙළ පිතිකරුවන් බොහෝමයක් දෙනා ලකුණු අතරට පැමිණීම මේ තරග ජයග්‍රහණය සඳහා ඔවුන්ට විශාල සවියක් වුනා. එහි දී සංගීත් කුරේ (ලකුණු 38), රවීන් සේයර් (ලකුණු 35) සම්මු අශාන් (ලකුණු 32) සහ දුශාන් (ලකුණු 26*) ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභීන් සිව්දෙනා වුනා.

අපරාජිතව සිටින CDB ෆිනෑන්ස් සහ සම්පත් බැංකුව අතර දොඹගොඩ දී පැවති මේ තරගයෙන් කඩුලු 4ක පහසු ජයක් ලබා ගැනීමට CDB සමත් වුනේ ඔවුන්ගේ අපරාජිත බව තවදුරටත් රැකගෙනයි.

සම්පත් බැංකුව නොකඩවා පරාජයට පත්වුණු තෙවැනි තරගය වුනු මේ තරගයේ දී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක නොදැවී ලකුණු 71*ක් ලබාගෙන අගනා අර්ධ ශතකයක් ලබා ගත්තා.

ඒ අවසරයෙන් ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 181ක් ලබා ගත් අතර කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක ලකුණු 39කට දැවී ගියා. පන්දු යැවීමේ දී මුදිත ලක්ෂාන් කඩුලු 3ක් දවාගෙන CDB ෆිනෑන්ස් වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූවා.

ජෝන් කීල්ස් සහ HNB

  • කාසියේ වාසිය – HNB
  • ක්‍රීඩාංගණය – ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය

ජෝන් කීල්ස් – 205/10 (46.5): අශාන් ප්‍රියන්ජන් 48, අකිල දනංජය 42, නවෝද් පරණවිතාන 38, සදීර සමරවික්‍රම 21, ඩෙලෝන් පීරිස් 4/28, මාධව වර්ණපුර 2/21, ගයාන් සිරිසෝම 2/37.

HNB – 173 (45.4): ඩිල්ශාන් මුණවීර 80, චාමර සිල්වා 53, අකිල දනංජය 3/33, දුවිඳු තිලකරත්න 2/31, අශාන් ප්‍රියන්ජන් 2/34.

ජෝන් කීල්ස් කණ්ඩායමට ලකුණු 32ක ජයක්


හේලීස් සහ MODE ඉංජිනියර්ස්

  • කාසියේ වාසිය – හේලීස්
  • ක්‍රීඩාංගණය – කෝල්ට්ස් ක්‍රීඩාංගණය

හේලීස් – 186/10 (46.4): විෂාද් රන්දික 78, ටී. එම් සම්පත් 21, චානුක ඩිල්ශාන් 3/33, මිලාන් ප්‍රියනාත් 3/35, දුශාන් හේමන්ත 2/37.

MODE ඉංජිනියර්ස් – 187/6 (37): සංගීත් කුරේ 38, රවීන් සේයර් 35, සම්මු අශාන් 32, දුශාන් හේමන්ත 26*, ලහිරු සමරකෝන් 2/20, ප්‍රභාත් ජයසූරිය 2/40, කලන පෙරේරා 2/42.

MODE ඉංජිනියර්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක්


සම්පත් බැංකුව සහ CDB

  • කාසියේ වාසිය – සම්පත් බැංකුව
  • ක්‍රීඩාංගණය – දොඹගොඩ ක්‍රීඩාංගණය

සම්පත් බැංකුව – 181/10 (42.5): දසුන් ශානක 71*, මිනෝද් භානුක 39, මුදිත ලක්ෂාන් 3/29.

CDB – 182/6 (33.5): ධනුෂ්ක ධර්මසිරි 48, ලහිරු මධුශංක 45*, ලක්ෂිත මණසිංහ 25, ලහිරු උදාර 21, සහන් ආරච්චිගේ 3/47

CDB ෆිනෑන්ස් කණ්ඩායමට කඩුලු 4ක ජයක්

මේ තරගාවලියේ තවත් තරග 3ක් මේ මස 11 වැනිදා ක්‍රියාත්මක වීමට නියමිතයි. එහි තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<