ලහිරු සහ ඇන්ජලෝ CDB අපරාජිත බව රැකගනියි

29වන සිංගර් - වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීගය 2022

1183
29th Singer-MCA Super Premier League 2022

29 වැනි සිංගර් – වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීගයේ 9 වැනි තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (6) නිමාව දුටුවා. CDB ෆිනෑන්ස් සහ ජෝන් කීල්ස් අතර පැවති එම තරගයෙන් ලකුණු 18ක ජයක් ලබා ගැනීමට CDB ෆිනෑන්ස් සමත් වුනා.

අයහපත් කාලගුණ තත්වය නිසා ඊයේ (5) මේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නොහැකි වූ මේ තරගය අද දිනයේ දී මෙසේ ක්‍රියාත්මක වුනා.

අද උදෑසන පැවති අයහපත් කාලගුණ තත්වය නිසා මේ තරගයේ ඉනිමක් පන්දුවාර 32කට සිමා වුනු අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ජෝන් කීල්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් CDB ෆිනෑන්ස් පන්දුවාර 29කුත් පන්දු 2ක් අවසානයේ සියල්ලන්ම දැවී ලකුණු 144ක් ලබා ගත්තා.

මලිඳු ෂෙහාන් සහ නායක ඉශාන් ජයරත්න ඇතුළු ජෝන් කීල්ස් ක්‍රීඩකයින් CDB පළමු කඩුලු 5 ලකුණු 54ක් තුල දවා ගැනීමට සමත් වුනු නමුත්, CDB නායක ලහිරු මධුසංක සහ ඇන්ජලෝ පෙරේරා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 65ක් තුල ලකුණු 62ක සබඳතාවයක් ගොඩනැංවූවා.

CDB කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුනු ඇන්ජලෝ පන්දු 40ක දී ලකුණු 41ක් ලබා ගත්තා. ඇන්ජලෝගේ එම ඉනිමට 4 පහර 3ක් සහ එක් 6 පහරක් ඇතුලත් වුනා.

4 පහර 3ක් සහ එක් 6 පහරකින් වර්ණවත් වුනු ලහිරුගේ ඉනිම ලකුණු 35කට සීමා කිරීමට මලිඳු සමත් වුනා. පන්දු යැවීමේ දී මලිඳු සහ පා දඟපන්දු යවන සචිත ජයතිලක කඩුලු 3 බැගින් දවාගෙන ජෝන් කීල්ස් වෙනුවෙන් දස්කම් අතරට පැමිණියා.

ලකුණු 145ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ජෝන් කීල්ස් කණ්ඩායමට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 126ක් පමණයි. එහි දී සදීර සමරවික්‍රමට හැරෙන්නට වෙනත් එකඳු ජෝන් කීල්ස් ක්‍රීඩකයෙක් හට මේ තරගයේ දී ලකුණු 20 සීමාව අභිබවා යාමට CDB පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

එහි දී ලහිරු, ඇන්ජලෝ, ලක්ෂිත මණසිංහ සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයින් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

CDB ෆිනෑන්ස් ඔවුන් ක්‍රීඩා කළ තරග 3ම ජයගෙන අපරාජිතව සිටිමින් සිංගර් – වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීගයේ දැනට තිබෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටිනවා. මේ තරගාවලියේ තවත් තරග තුනක් මැයි 8 වැනිදා පැවැත්වීමට නියමිතයි.

CDB ෆිනෑන්ස් – 144 (29.2/32): ඇන්ජලෝ පෙරේරා 41, ලහිරු මධුසංක 35, හසිත පෙරේරා 21, සචිත ජයතිලක 3/23, මලිඳු ෂෙහාන් 3/38, ඉශාන් ජයරත්න 2/14.

ජෝන් කීල්ස් – 126 (29.3/32): සදීර සමරවික්‍රම 23, අහන් වික්‍රමසිංහ 19, ලහිරු මධුසංක 2/20, තරිඳු රත්නායක 2/20, ඇන්ජලෝ පෙරේරා 2/24, ලක්ෂිත මණසිංහ 2/28.

CDB කණ්ඩායමට ලකුණු 18ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<