කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට ක්‍රිකට් ශූරතාවයක්

වයස 19න් පහළ දෙවන පෙළ Tier B තරගාවලිය

296

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස 19න් පහළ දෙවන පෙළ Tier B තරගාවලියේ අවසන් මහා  තරගය ඊයේ (29) කොළඹ BRC පිටියේ දී පැවැත්වුණා. එහි දී පානදුර රාජකීය කණ්ඩායමට  ලකුණු 5ක තියුණු පරාජයක් උරුම කළ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය එහි ශූරතාවය දිනා ගත්තා.

පාසල් කණ්ඩායම් 17ක් තරග වැදුණු මේ 19න් පහළ දෙවන පෙළ Tier B තරගාවලියේ මූලික වටය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වුනා. එහි දී “X” කාණ්ඩයෙන් ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය පළමු ස්ථානය ලබාගෙන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර පානදුර රාජකීය කණ්ඩායම “Y” කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය ලබා අර්ධ අවසන් පූර්ව වටයට පැමිණියා. 

අර්ධ අවසන් පූර්ව තරග වටයේ දී ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව  වටයට සුදුසුකම් ලැබූ අතර ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පරාජය කරමින් පානදුර රාජකීය කණ්ඩායම අවසන් පූර්ව  වටයට සුදුසුකම් ලබා ගත්තා.

තවත් ක්‍රිකට් පුවත්

අවසන් පූර්ව තරග වටයේ දී මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය පරාජය කරමින් පානදුර රාජකීය කණ්ඩායම අවසන් මහා තරගයට  සුදුසුකම් ලබා ගන්නා විට, අම්බලන්ගොඩ පී. ද. එස් කුලරත්න විද්‍යාලය පරාජය කරමින් ශ්‍රී  ජයවර්ධනපුර විද්‍යාලය ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය පන්දුවාර 46.1ක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 136ක් පමණයි.

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් හුදකලා සටනක නිරත වූ දකුණත් පිතිකරු ජයඳු සංකල්ප 4 පහර 4ක් එල්ල කරමින් පන්දු 138ක දී නොදැවී ලකුණු 50ක් වාර්තා කළ අතර කවිෂ්ක ගිහාන් ලකුණු 23ක් ලබා ගත්තා. 

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයේ අනෙක් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට රාජකීය පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන නවීන් සිල්වා කඩුලු 3ක් දවා ගත් අතර යසිත් ප්‍රමෝද්‍ය සහ සචින් චමුදිත ද කඩුලු 2 බැගින් දවා ගත්තා.

>>Photos: Sri Jayawardanapura Maha Vidyalaya, Kotte Vs Royal College, Panadura – Under 19 Division Two Tournament 2020/21 TIER – B | Final<<

ලකුණු 137ක පහසු ඉලක්කයක් හඹා යාමට පැමිණි පානදුර රාජකීය කණ්ඩායමේ පිතිකරුවන් ඔවුන්ට ලැබුණු ඉලක්කය පහසු වීම නිසාවෙන් තරගය පහසුවට සලකා අපරික්ෂාකාරී පහරවල් කිහිපයක් එල්ල කරමින් පිතිකරුවන් කිහිප දෙනෙක් දැවී ගියා නිසාවෙන් සහ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාල දක්ෂ පන්දු යැවීම නිසාවෙන් පානදුර රාජකීය විද්‍යාලයට සිය ඉලක්කය වෙත යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ. 

අවසානයේ පන්දුවාර 46.3ක් අවසානයේ දී පානදුර රාජකීය කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 131ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු භාතිය සත්සර ලකුණු 16ක් ලබා ගත්තා. දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟපන්දු යවන දෙනුවන් ජයවර්ධන කඩුලු 4ක් තමන් සතු කරගන්නා විට බියංක පෙරේරා කඩුලු 2ක් දවා ගත්තා.

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය 136 (46.1): ජයඳු සංකල්ප 50*, කවිෂ්ක ගිහාන් 23, නවීන් සිල්වා 3/25, යසිත් ප්‍රමෝද්‍ය 2/24, සචින් චමුදිත 2/31.

පානදුර රාජකීය විද්‍යාලය 131 (46.3): භාතිය සත්සර 16, දෙනුවන් ජයවර්ධන 4/22, බියංක පෙරේරා 2/20

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට ලකුණු 5ක තියුණු ජයක්.

මේ දෙවැනි පෙළ තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගය අද (30) පානදුර සුමංගල විද්‍යාල සහ පානදුර සාන්ත ජෝන් විද්‍යාලය අතර කොළඹ BRC පිටියේ දී පැවැත්වෙනවා.

කෙසේ නමුත් මෙවර පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගාවලි අවසානයේ දී ඉදිරි පෙළකට උසස් වීම් හෝ පහළ පෙළකට පහත දැමීම් සිදු නොකරන නිසා මේ පාසල් දෙකම ඊළඟ වසරේ දී ද දෙවැනි පෙළ කාණ්ඩයේම ක්‍රීඩා කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<