ස්කොෂ් කණ්ඩායම පදක්කම් සොයා මැලේසියා යයි

ආසියානු ස්කොෂ් කණ්ඩායම් තරගාවලිය 2021

191

මේ මස 30 වැනිදා සිට දෙසැම්බර් මස 4 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දී 20 වැනි වරටත් පැවැත්වීමට නියමිත ආසියානු කණ්ඩායම් ස්කොෂ් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා පිරිමි ස්කොෂ් කණ්ඩායම නියෝජනය කරමින් රවිඳු ලක්සිරි, ශමිල් වකීල්, මෙත්මල් වුඩ් සහ ශෙරීෆ් හකීම් සහභාගී වූ අතර කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් Fathoum Issadeen, යෙහෙනි කුරුප්පු, චනිත්මා සිනලි සහ දෙව්මිණි ගාල්ලගේ සහභාගී වුනා.

තරගාවලිය නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් 8ක් සහ පිරිමි කණ්ඩායම් 13ක් තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිරිමි ස්කොෂ් කණ්ඩායමේ වඩාත් විශ්වසනීය සහ බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා බවට පත් වන්නේ ජාතික ශූරතාව 8 වරක් දිනා ගනිමින් වර්තමාන ජාතික ශූරයා ලෙසින් ද අභිෂේක ලබා සිටින 25 හැවිරිදි රවිඳු ලක්සිරි වෙතයි. ඔහු 2013 වසරේ සිට මේ දක්වා ම ජාතික ශුරයා ලෙසින් තම අභිමානය රැක ගනිමින් මෙම තරගාවලියට එක් වෙනවා.

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන රවිඳු තම ප්‍රථම ජාත්‍යන්තර ස්කොෂ් පදක්කම දිනා ගන්නේ 2008 වසරේ දී මැලේසියාවේ දී පැවති Milo All Star කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියේ දී ලෝකඩ පදක්කම දිනා ගනිමින්. අනතුරුව ඔහු 2015 ක්වේට් රාජ්‍යයේ දී පැවති ආසියානු ජ්‍යෙෂ්ඨ ඒකල ස්කොෂ් ශූරතාවලියේ දී රන් පදක්කමක් ද, 2016 ඉන්දියාවේ දී පැවති දකුණු ආසියානු ස්කොෂ් තරගාවලියේ දී ලෝකඩ පදක්කම ද සහ 2019 නේපාලයේ පැවති දකුණු ආසියානු ස්කොෂ් තරගාවලියේ දී නැවත වතාවක් ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවේ අංක 2ට ශ්‍රේණිගතව සිටින ශමිල් වකීල් ජාතික ස්කොෂ් කණ්ඩායම හා එක් වෙන පළමු අවස්ථාව මෙයයි. නමුත් ඔහු ද මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ කදිම තුරුම්පුවක් වනු ඇතැයි විශ්වාස කෙරේ. එමෙන් ම කණ්ඩායම හා එක්වෙන ශෙරීෆ් හකීම් සහ පළමු වරට ස්කොෂ් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලද මෙත්මල් වුඩ් ද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු වේ.

තරගාවලියේ පිරිමි කණ්ඩායම් අතුරින් මැලේසියාව, හොංකොං, ඉරානය, කොරියාව සහ සිංගප්පූරුව ඉහළින් ශ්‍රේණිගතව සිටිනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරන කාන්තා කණ්ඩායමේ විශ්වසනීය ම ක්‍රීඩිකාව වන්නේ 23 හැවිරිදි Fathoum Issadeen. ඇය 2016 ඉන්දියාවේ පැවති දකුණු  ආසියානු ස්කොෂ් තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාවක්. එමෙන් ම ඇය වර්තමාන ජාතික ශූරියයි.

එමෙන් ම ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරිය වන යෙහෙනි කුරුප්පු ද ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමන ක්‍රීඩිකාවක් ලෙසින් විශ්වාසය දිනා සිටිනවා. චනිත්මා සිනලි සහ දෙව්මිණි ගාල්ලගේ සතු තරග අත්දැකීම් ද මෙම තරගාවලියේ දී වඩාත් උපකාරි වනු ඇත.

තරගාවලියට එක් වෙන කාන්තා කණ්ඩායම් අතර ඉහළින් ශ්‍රේණිගතව සිටින්නේ හොංකොං, ජපානය සහ කොරියාවයි.

ස්කොෂ් ජාතික ශූරයෙක් මෙන් ම වර්තමානයේ ශ්‍රී ලංකා ස්කොෂ් සංගමයේ ලේකම් වන එරංග අල්විස් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙසින් මෙම තරගාවලිය හා එක් වුනා. ඊට අමතර ව ගිහාන් සුවාරිස් සහ නඳුනි ගුණවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙසින් මේ තරගාවලිය හා එක් වුනා. ඔවුන් දෙදෙනා ම ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රිඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී අංක එකට ශ්‍රේණිගතව සිටි අය වන අතර ලෝක ස්කොෂ් සම්මේලනයේ Level  two සුදුසුකම්ලාභී පුහුණුකරුවන්.

මෙම තරගාවලිය මීට පෙර 2020 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද පැවති කොරෝනා වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයක දී ම කල් දැමුණා. ස්කොෂ් පදක්කම් සොයා ආසියානු තරග බිමේ තරග වදින අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලු දෙනාට ThePapare.com හි උණුසුම් සුබ පැතුම්.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<