රාජකීය විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයට

19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලිය 2021

246

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ එක්දින පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව තරග දෙකක් අද (19) දින නිමාවුනු අතර එම තරග වලින් කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අවසන් පූර්ව වටයේ සිය අසුන් වෙන්කර ගන්නා ලදි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

රාජකීය විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය 

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය සාර්ථක ආරම්භයක් ලබාගනිමින් තරගයේ පළමු පන්දුවාර කිහිපය ක්‍රීඩා කළා. නමුත් ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් දෙදින තරගයක පිතිකරණයේ නිරත වන ලෙස මෙම තරගයේ දී පිතිකරණයේ නිරත වීම නිසාවෙන් පළමු පන්දුවාර කිහිපය තුළ ලබාගත් හොඳ දළ ලකුණු ලබාගැනීමේ වේගය බිඳ වැටී ගියා.  

පන්දුවාර 15ක දී කිසිවෙකු නොදැවී ලකුණු 70ක් රැස්කර ගෙන සිටි නාලන්දා විද්‍යාලයේ ආරම්භක පිතිකරුවන් යුගලය වුනු රශාන් දිසානායක සහ නදිල් ජයකොඩිගේ සබඳතාවය බිඳ දැමීමට ප්‍රශාන් කල්හාර සමත් වුනා. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 30ක් සහ ලකුණු 32ක් රැස්කර ගෙන දස්කම් අතරට පැමිණියත් ඔවුන්ගේ මැදපෙළ ලකුණු මැෂිම බඳු විනුජ රන්පුල් ලකුණු 22කට දැවී යාමත් සමඟම ඔවුන්ගේ ඉනිමේ බිඳ වැටීම ආරම්භ වුනා. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා වයස අවරුදු 19න් පහළ අත්දැකීම් තිබෙන රවීන් ද සිල්වා හතරේ පහර 2ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් පන්දු 85ක් තුළ නොදැවී ලකුණු 59ක් රැස්කර ගෙන කඩුලු බිඳ වැටීම පාලනය කරගනිමින් පිතිකරණයේ නිරත වුවත් අනෙක් අන්තයෙන් ඒ සඳහා හොඳ සහයක් ඔහුට ලැබුනේ නැහැ. අවසානයේ දී නාලන්දා විද්‍යාලය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 189ක් පමණයි.  

ලකුණු 190ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ප්‍රබල රාජකීය කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ දී එම ඉලක්කය සපුරා යාමට සමත් වුනේ තවත් කඩුලු 6ක් අතැතිවයි. නායකත්වයේ පිතිකරණයක නිරත වුනු අහන් වික්‍රමසිංහ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් එල්ල කරමින් පන්දු 79ක් තුළ නොදැවී ලකුණු 71*ක් රැස්කර ගැනීමට සමත් වුනා. ඊට අමතරව එක්දින තරග රටාව සඳහා නවක ආරම්භක පිතිකරුවෙකු වන සිනෙත් ජයවර්ධන හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ල කරමින් පන්දු 75ක දී ලකුණු 60ක් රැස්කර ගැනීමට සමත් වුනා. 

පන්දු යැවීමේ දී රාජකීය විද්‍යාලයේ දසිස් මංචනායක කඩුලු 3ක් දවා ගනිමින් නාලන්දා ඉනිම අවම ලකුණු මට්ටමකට පාලනය කිරීමට සමත් වුනා. වමතින් වේගපන්දු යවන ක්‍රීඩක දිනෙත් සමරවීර නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා. 

නාලන්දා විද්‍යාලය – 189/7 (50): රවීන් ද සිල්වා 59*, නදිල් ජයකොඩි 32, රශාන් දිසානායක 30, විනුජ රන්පුල් 22, දසිස් මංචනායක 3/17. 

රාජකීය විද්‍යාලය – 191/4 (39): අහන් වික්‍රමසිංහ 71*, සිනෙත් ලක්වන් 60, දිනෙත් සමරවීර 2/32. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය 

උදෑසන කාලයේ පැවති අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් කොළඹ රාජකීය විදුහල් පිටියේ දී පැවති මෙම තරගයේ ආරම්භය තරමක් පමා වුනා. කාසියේ වාසිය දිනාගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.  

පළමුව පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පන්දුවාර 43කුත් පන්දු 2ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 131ක් පමණි. එහිදී යෂාන් අවිශ්ක හතරේ පහර 5ක් එල්ල කරමින් පන්දු 95ක දී ලකුණු 51ක් රැස්කර ගත්තා. ඊට අමතරව සවිඳු රොද්‍රිගෝ ලකුණු 30කින් සාන්ත සෙබස්තියන් ඉනිම සවිමත් කළා. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන දිනුක තෙන්නකෝන් එක් නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුනා. 

ප්‍රබල පිතිකරුවන් රැසක් සිටින ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 132ක ඉලක්කය හඹා යාමේ දී කඩුලු 3ක් පමණක් වැයකර ගනිමින් එම ඉලක්කය සපුරාගැනීම සඳහා වැයකළේ පන්දුවාර 30කුත් එක් පන්දුවක් පමණයි. ආරම්භක පිතිකරු උමෙයිර් රයිසාන් සහ තෙවින් අමරසිංහ පළමු කඩුල්ල සඳහා ලකුණු 87ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූවා. රයිසාන්ගේ ඉනිම සඳහා හතරේ පහර 8ක් ඇතුළත් වන විට අමරසිංහගේ ඉනිම සඳහා හතරේ පහර 7ක් ඇතුළත් වුනා. පවන් පතිරාජ පන්දු 20ක දී නොදැවී ලකුණු 21*ක් රැස්කර ගනිමින් වේගවත් පිතිකරණයක නිරත වුනා. පන්දු යැවීමේ දී සංදේශ් ප්‍රනාන්දු සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගත්තා. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 131 (43.2): යෂාන් අවිශ්ක 51, සවිඳු රොද්‍රිගෝ 30, දිනුක තෙන්නකෝන් 4/22, අභිෂේක් අනන්දකුමාර් 3/40. 

ත්‍රිත්ව විද්‍යාලය – 133/3 (30.1): උමෙයිර් රයිසාන් 60, තෙවින් අමරසිංහ 39, පවන් පතිරාජ 21*, සංදේශ් ප්‍රනාන්දු 3/39. 

ඒ අනුව මේ තරග වලින් ජයග්‍රහණ හිමිකර ගත් රාජකීය විද්‍යාලය දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ජයගන්නා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය හෝ මහානාම විද්‍යාලය සමඟින් එළඹෙන 28 වැනිදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී තරග වැදීමට නියමිතය. එසේම ත්‍රිත්ව විද්‍යාලය සිව්වන අර්ධ අවසන් පූර්ව තරගය ජයගන්නා රිච්මන්ඩ් විද්‍යාලය හෝ සාන්ත ජෝසප් විද්‍යාලය සමඟින් එළඹෙන 28 වැනිදා මග්ගොන සැරේ පිටියේ දී තරග වැදීමට නියමිතය. 

මේ සියලු තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<