කාන්තා ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් චමරි අතපත්තු නොදැවී රැස්කළ ලකුණු 178ක විශිෂ්ට ඉනිමෙන් සවිමත්ව ලෝක කුසලාන එක්දින තරගයක ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට එරෙහිව වාර්තා වූ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 257ක් ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසමත් විය.

සුසී – හොලී සුසංයෝගය නිසා ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්!

මෙවර එංගලන්තය සහ වේල්සය පදනම් කර ගනිමින් පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේ තමන් මුහුණ දුන්..

බ්‍රිස්ටල් හී දී පැවති  ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන තරගය වූ මේ තරගය කඩුලු 8ක පහසු ජයක් වෙත ඕස්ට්‍රේලියාව රැගෙන යාමට ඕස්ට්‍රේලියානු නායිකා මෙග් ලැනින්ගේ අගනා පිතිකරණය මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම ද උපකාරී විය.

තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස සැලකෙන ඕස්ට්‍රේලියානු නායිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කිරීමෙන් පසු පළමු පන්දුවාරයේ දී ම නිපුනි හංසිකා දැවී ගියේ ලකුණු ලබා ගැනීමෙන් තොරවයි. කෙසේ වෙතත් එතැන් පටන් ආරම්භ වූ චමරි අතපත්තුගේ දර්ශනීය පිති ප්‍රහාරය පන්දුවාර 50ක් අවසන් වනතෙක් ම නවතා දමන්නට ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ට හැකියාව නොලැබුණි.

තමන් වටා කණ්ඩායමේ කඩුලු එකිනෙක බිඳ වැටෙද්දී තම වගකීම මැනවින් ඉටු කළ චමරි, පන්දු 143ක දී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 178ක්. ඇයගේ ඉනිම හතරේ පහර 22කින් සහ හයේ පහර 6කින් වර්ණවත් විය. කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කිසිදු ක්‍රීඩිකාවක් අයර්ලන්තයට සහ ඩෙන්මාර්කයට එරෙහිව හැර මෙවන් විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන නැත. එනම් කාන්තා එක්දින තරග ඉතිහාසයේ තෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.

චමරිගේ පිත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු එකතුවෙන් 69.26%ක ප්‍රතිශතයක් වාර්තා වූ අතර අනෙකුත් පිතිකාරිනියන් සියලු දෙනා එක්ව පන්දු 157ක දී ලබාගෙන තිබුණේ ලකුණු 60ක් පමණයි. මෙම ප්‍රතිශතය ද කාන්තා එක්දින ඉතිහාසයේ වාර්තාවක් ලෙස සටහන් විය. චමරි හයේ සහ හතරේ පහර මගින් ලබා ගත් ලකුණු 124 ද ලෝක වාර්තාවක් වන අතර ඉන්දියාවේ දීප්ති ෂර්මා මීට පෙර ලකුණු 120ක් 4 සහ 6 පහර මගින් ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත් ලකුණු 258ක ඉලක්කය පන්දුවාර 43යි පන්දු 2ක් තුළ සපුරා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වුනේ, කාන්තා ක්‍රිකට් කරළිය තුල තමන්ට අභියෝග කිරීම එතරම් පහසු නොවන වග යලිත් විදහා පාමිනුයි.

පළමු කඩුල්ල ලකුණු 5 දී බිඳ වැටීමෙන් පසු ලකුණු 4ක් ලබා සිටි නිකෝල් බෝල්ටන් ලබා දුන් උඩපන්දුව ශ්‍රී ලංකා කඩුලු රකින්නිය අතින් ගිලිහී නොයන්නට තරගයේ ඉදිරිය මීට වඩා වෙනස් වීමට ද ඉඩ තිබුණු නමුත් එය සිදු වූයේ නැත. යලි ජීවය ලැබූ බෝල්ටන් ලකුණු 60ක් ලබා ගත්තේ මෙග් ලැනින් සමඟ ලකුණු 133ක දෙවන කඩුල්ලේ සබඳතාවක් ද ගොඩ නගමිනුයි.

එලීස් පෙරී සමඟ තුන්වන කඩුල්ලට ද නොබිඳුණු ශතක සබඳතාවක් ගොඩනැගු නායිකා ලැනින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේ තම පෞද්ගලික හොඳම ඉනිමද වාර්තා කරමින්. 44 වන පන්දුවාරයේ 5 වන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළ ඇය ලකුණු 150 කඩ ඉම මෙන්ම ජයග්‍රාහී ඉලක්කය ද පසු කර ගියේ ශ්‍රී ලංකා කණ්ඩායමට චමරි අතපත්තුගේ වාර්තාගත ඉනිමේ සතුට පමණක් ඉතිරි කරමිනුයි.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට