ත්‍රිත්ව විද්‍යාලය අපරාජිත බව රැක ගනිමින් පෙරමුණේ!

Dialog Schools Rugby League 2025

23

2025 Dialog පාසල් රග්බි ලීගයේ හය වැනි සතියේ තරග ඊයේ (19) දිනයෙන් නිමාවට පත් වුනා. 

ලීගයේ මුල් සති පහේ නිමාව සමඟ පළමු තරග අදියර අවසන් වූ අතර ඊයේ දිනයේ ලීගයට සම්බන්ධ වූ පාසල් 18 දෙවැනි අදියර වෙනුවෙනුයි තරග බිමට පිවිසුණේ. 

පළමු වටයේ දී කාණ්ඩ තුනක් යටතේ තරග වැදුණු මෙම පාසල් 18 ලැබූ ජයග්‍රහණ අනුව දෙවැනි වටයේ දී කුසලාන ශූරතාව, පළඟ ශූරතාව සහ බඳුන ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තා. 

මෙහි දී සියලු කණ්ඩායම් තමන්ට අදාළ ශූරතා තරගවල දී මූලික වටයේ දී තමන්ට මුණ නොගැසුනු කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි. 

කුසලාන ශූරතාව 

ත්‍රිත්ව විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, සාන්ත තෝමස් විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය 

ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය  

කුසලාන ශූරතාව වෙනුවෙන් සටනේ පළමු තරගය ඊයේ ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර ක්‍රියාත්මක වුනා. 

ලීගයේ සති පහක් පුරාවට සිය අපරාජිත බව රැක ගනිමින් පැමිණි මෙම කණ්ඩායම් ද්විත්වය ඉදිරියටත් සිය ජයග්‍රහණ රැල්ල රැක ගැනීමේ අරමුණින් ක්‍රීඩා පිටියට පිවිසුණු අතර, තරගයේ පළමු අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගයේ වැඩි වාසි ලබමින් උත්සාහක දිනුම් 5ක් සමඟ ලකුණු 29ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතර තුර තෝමසුවන් විසින් ලකුණු 12ක් ලබා ගත්තා.  

තරගයේ දෙවැනි අර්ධය පළමු අර්ධයට වඩා තරගකාරී සහ උණුසුම් වීම නිසා දෙපිළට ම ඉහළ ලකුණු හඹා යාමට හැකි වුනේ නැහැ. මෙහි දී ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් ලකුණු 07ක් ලබා ගනිද්දී, තෝමසුවන් ද ලකුණු 07ක් ලබමින් කරට කර සටනක් ලබා දුන්නා. 

කෙසේ වෙතත් පළමු අර්ධයේ ලද වාසිය සමඟ ත්‍රිත්ව විද්‍යාලය තරගයේ ජය තමන් සතු කර ගැනීමට සමත් වුනා. 

  • ත්‍රිත්ව විද්‍යාලය 36 (6T, 3C) – සාන්ත තෝමස් විද්‍යාලය 19 (3T, 2C) 

තරගයේ වීරයා එවින් ජයසේන (ත්‍රිත්ව විද්‍යාලය) 

සාන්ත පීතර විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය  

මෙම තරගය ඉතා උණුසුම් නිමාවක් සටහන් කළ එකක් ලෙස සඳහන් කළ හැකි. තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 2ක් සමඟ ලකුණු 14ක් ලබා ගනිමින් ඉතා හොඳ ආරම්භයක් ලබා ගත් අතර, රාජකීයයන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 08ක් පමණයි. 

නමුත් තරගයේ දෙවැනි අර්ධයේ දී මෙම සියල්ල වෙනස් කිරීමට රාජකීය ක්‍රීඩකයින් විසින් සමත් වුනේ තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 19ක් රැස් කරමිනුයි. මෙම කාල සීමාව තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි. 

  • රාජකීය විද්‍යාලය 27 (4T, 2C, 1P) – සාන්ත පීතර විද්‍යාලය 24 (4T, 2C) 

තරගයේ වීරයා නකීබ් මොහමඩ් (රාජකීය විද්‍යාලය) 

ඉසිපතන විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය  

මෙවර රග්බි ලීගයේ තවත් අපරාජිත ගමනක නිරත වූ වෙස්ලි ක්‍රීඩකයින්ගේ එම ගමන ඊයේ දිනයෙන් නිමා කර දැමීමට ඉසිපතන විද්‍යාලය සමත් වුනා. 

තරගයේ පළමු අර්ධය තුළ වෙස්ලි ක්‍රීඩකයින් විසින් සිය සුපුරුදු ආධිපත්‍යය රැක ගනිමින් ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉසිපතන ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සියලු දේ උඩු යටිකුරු කර දමමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා. 

මෙහි දී ඉසිපතන විද්‍යාලය විසින් තවත් ලකුණු 16ක් ලබා ගැනීමට සමත් වූ අතර, වෙස්ලි විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි. 

  • ඉසිපතන විද්‍යාලය 21 (2T, 1C, 3P) – වෙස්ලි විද්‍යාලය 17 (2T, 2C, 1P) 

තරගයේ වීරයා ශාහීබ් සුම්රි (ඉසිපතන විද්‍යාලය) 

පළඟ ශූරතාව 

මෙවර ලීගයේ පළඟ ශූරතාව සඳහා තරග වදින කණ්ඩායම් මෙසේයි. 

සාන්ත ජෝසප් විද්‍යාලය, ඩී.එස්.සේනානායක විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, කිංස්වුඩ් විද්‍යාලය, සහිරා විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය 

සහිරා විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය  

මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම ඩී.එස් ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ලබා ගනිමින් නියත ජයක් කරා මාවත විවර කර ගත්තා. 

තරගයේ පළමු අර්ධය තුළ ඩී.එස්. ක්‍රීඩකයින් ලකුණු 22ක් ලබා ගනිද්දී, සහිරා ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ සහිරා ක්‍රීඩකයින් ඉතා හොඳින් තරගයට අවතීර්ණ වීමට සමත් වුනේ තවත් ලකුණු 30ක් සිය ලකුණු පුවරුවට එක් කර ගනිමිනුයි. කෙසේ වෙතත් මේ අතරවාරයේ දී ඩී.එස් ක්‍රීඩකයින් තවත් ලකුණු 19ක් ලබමින් සිය සමස්ත ලකුණු සංඛ්‍යාව 41ක් කරා රැගෙන යාමට සමත් වීම නිසා ඔවුන්ගේ ජයග්‍රහණය ස්ථිර වුනා. 

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය 41 (6T, 4C, 1P) – සහිරා විද්‍යාලය 35 (5T, 5C) 

තරගයේ වීරයා තිමත් බෝගහවත්තගේ (ඩී.එස්.සේනානායක විද්‍යාලය) 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ කිංස්වුඩ් විද්‍යාලය  

මෙම තරගය ආරම්භයේ පටන් ම ඉතා හොඳ තරගකාරී මට්ටමක පවත්වා ගනිමින් ඉදිරියට රැගෙන යාමට පාසල් ද්විත්වයම සමත් වුනා. මෙහි පළමු අර්ධය නිමා වන විට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, කිංස්වුඩ් ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබමින් තරගය තරගකාරී කිරීමට සහය ලබා දුන්නා. 

කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ කිංස්වුඩ් ක්‍රීඩකයින්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 05ක් පමණයි. නමුත් මෙම අර්ධය තුළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් තවත් ලකුණු 09ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

  • සාන්ත ජෝසප් විද්‍යාලය 31 (5T, 3C) – කිංස්වුඩ් විද්‍යාලය 22 (4T, 1C) 

තරගයේ වීරයා බීශ්ම ජයසේකර (සාන්ත ජෝසප් විද්‍යාලය) 

ආනන්ද විද්‍යාලය සහ ශ්‍රී සුමංගල විද්‍යාලය 

මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම තරගයේ පෙරමුණ ලබා ගැනීමට ආනන්ද ක්‍රීඩකයින් විසින් සමත් වූ අතර ඔවුන් පළමු අර්ධය නිමා වන විට ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වී සිටියේ සුමංගල ක්‍රීඩකයින් ලකුණු 12ක් ලබා ගන්නා අතරේ දියි. 

තරගයේ දෙවැනි අර්ධය තුළ ආනන්ද ක්‍රීඩකයින් තවත් ලකුණු 14ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. මෙහි දී ඔවුන් සමස්ත උත්සාහක දිනුම් 05ක් වාර්තා කිරීමට සමත් වූ අතර, සුමංගල විද්‍යාලය උත්සාහක දිනුම් 03ක් සමඟ සමස්ත ලකුණු 17ක් ලබා ගත්තා. 

  • ආනන්ද විද්‍යාලය 36 (5T, 4C, 1C) – ශ්‍රී සුමංගල විද්‍යාලය 17 (3T, 1C) 

තරගයේ වීරයා දෙනෙත් චමුදිත (ආනන්ද විද්‍යාලය) 

බඳුන ශූරතාව 

බඳුන ශූරතාව සඳහා තරග වදින පාසල් මෙසේයි; 

සාන්ත අන්තෝනි විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, මහානාම විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය  

ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය  

මෙම තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් සමත් වූ අතර, තරගය පුරා සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 06ක් සමඟ ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මේ අතරවාරයේ දී ධර්මරාජ ක්‍රීඩකයින් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 17ක් පමණයි. 

  • සාන්ත අන්තෝනි විද්‍යාලය 36 (6T, 3C) – ධර්මරාජ විද්‍යාලය 17 (3T, 1C) 

තරගයේ වීරයා දේශාන් ලියනගේ (සාන්ත අන්තෝනි විද්‍යාලය) 

විද්‍යා විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය  

මෙම තරගයේ දී විද්‍යාර්ථ ක්‍රීඩකයින්ට ලකුණු 16ක් කරා පමණක් යාමට ඉඩ ලබා දුන් විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින් ලකුණු 28ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා. 

  • විද්‍යා විද්‍යාලය 28විද්‍යාර්ථ විද්‍යාලය 16 

මහානාම විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය  

මෙවර රග්බි ලීගයේ තවත් උණුසුම් තරගයක නිමාව සනිටුහන් කරමින් කණ්ඩායම් දෙකම සම ලකුණු ලබමින් තරගය නිමා වුනා. 

  • මහානාම විද්‍යාලය 19තර්ස්ටන් විද්‍යාලය 19

මේ වන විට ලීගයේ එකම අපරාජිත කණ්ඩායම ලෙස ත්‍රිත්ව විද්‍යාලය පෙරමුණේ පසු වෙමින් මෙවර ශූරතාව ලබා ගැනීමට ඉතා ආසන්න මට්ටමක පසු වනවා. වෙස්ලි විද්‍යාලයේ අපරාජිත ගමන ද මෙම සති අන්තයේ දී නිමා වීම නිසා ත්‍රිත්ව විද්‍යාලයට මෙම කඩ ඉම තරණය කිරීමට ඇති අවකාශය තවත් ඉහළ ගියා. 

ලීගයේ ඉදිරි සතිවල දී මේ පිළිබඳ තවත් තහවුරු කර ගැනීමට හැකි වනු ඇති. 

දේශීය පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<