ප්‍රථම දිනයේදීම මලල ක්‍රීඩා වාර්තා පොත් අලුත් වෙයි

617

ඊයේ (29දා) යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී ආරම්භ වුනු 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ප්‍රථම දිනය අද (30) නිමාවට පත්විය.

ආරම්භක දිනයේදීම රිටි පැනීමෙන් ජාතික වාර්තා පොත් අලුත් කරන්නට උතුරු පළාත නියෝජනය කල යාපනයේ ජේ. අනීතා විසින් සමත්විය. ඒ මීට සති කිහිපයකට පෙර ශ්‍රීමත් ජෝන් ටාබට් ජේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ඇය විසින් මීටර 3.35ක් තරණය කරමින් තබා තිබූ වාර්තාව මෙම තරගාවලියේදී අලුත් කරමිනි. මීටර 3.41ක උසක් තරණය කරමින් ඇය අද මෙම වාර්තාව අලුත් කිරීමට සමත් විය. ඇය යාපනය තෙලප්පල්යි විදුහලේ ආදී ශිෂ්‍යාවක්. ජේ.අනීතා විසින් රිටි පැනීමේ රන් පදක්කම හිමිකර ගනිද්දී එහි රිදී පදක්කම මීටර 3.10ක උසක් තරණය කල  පී. එම්. ඒ. එච්. ඩී. ලාක්ශී විසින් දිනා ගනිද්දී ලෝකඩ පදක්කම මීටර 3.10ක උසක් තරණය කල ජේ. සුගිරත්න විසින් දිනා ගනු ලැබීය.

මේ අතර කාන්තා යගුලිය විසිකිරීමේ ඉසව්වේදි නව ජාතික තරග වාර්තාවක් සහ තරගාවලි වාර්තාවක් පිහිටුවනු ලැබීය. බස්නාහිර පළාතේ ඩබ්. ටී. කේ. ප්‍රනාන්දු ක්‍රීඩිකාව විසින් මීටර 15.25ක දුරක් යගුලිය විසි කිරීමෙන් මෙම වාර්තාව තැබීමට සමත් විය. ඇය මීටර 15ක දුරක් අභිබවා යගුලිය විසි කල ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන අතර ඇය පානදුර යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ ආදී සිසුවියකි. ඩබ්. ටී. කේ. ප්‍රනාන්දු විසින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී දකුණු පළාතේ පී. ඒ. ප්‍රියංගිකා කුමාරී විසින් මීටර 11.88ක දුරක් යගුලිය විසි කොට එහි රිදී පදක්කම දිනා ගනු ලැබීය. බස්නාහිර පළාතේ එෆ්. ශමීහා රිශාඩ් විසින් මීටර 11.46ක දුරක් යගුලිය විසි කොට එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදි.

ඉන්පසුව පැවති පිරිමි මිටිය විසි කිරීමේ තරගයේ රන් පදක්කම දකුණු පළාතේ එම්. ආර්. එස්. කුමාර විසින් දිනා ගන්නා ලදි. ඒ මීටර 49.49ක දුරක් වාර්තා කරමිනි. එහි රිදී පදක්කම වයඹ පළාතේ කේ. නිලන්ත විසින් දිනාගනු ලැබුවේ මීටර 46.43ක දුරක් මිටිය විසි කිරීමෙනි. උතුරු මැද පළාතේ එල්. ඒ. ඩී. පී. කුමාරසිරි විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ මීටර 45.40ක දුරක් මිටිය විසි කරමිනි.

මේ අතර දොරේඅප්පා ක්‍රීඩාංගණයේදි උදෑසන පැවති මීටර 10,000 පිරිමි අවසන් තරගයේ ඌව පළාත නියෝජනය කළ කේ. ජී. ආර්. එස්. කුමාර විසින් මිනිත්තු 31 තත්පර 57.2ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කමත්, සබරගමුව පළාත නියෝජනය කල පී. ඒ. පී. මදුරංග මිනිත්තු 31 තත්පර 44.5ක කාලයක් වාර්තා කරමින් එහි රිදී පදක්කමත් දිනා ගනිද්දී මධ්‍යම පළාතේ ඩී. එල්. සමරජීව විසින් මිනිත්තු 31 තත්පර 28.2ක කාලයකින් තරගය අවසන් කරමින් එහි රන් පදක්කම ද දිනා ගනු ලැබීය.

මේ අතර කාන්තා මීටර 5000 අවසාන තරගයේ පිළිවෙලින් සබරගමු පළාතේ නිලානී රත්නායක විසින් මිනිත්තු 17 තත්පර 07.6ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කමත්, එම පළාතේම ඒ. එන්. එල්. ආරියදාස විසින් මිනිත්තු 17 තත්පර 20.5ක කාලයක් වාර්තා කරමින් එහි රිදී පදක්කමද, මිනිත්තු 17 තත්පර 28.4ක කාලයක් වාර්තා කල ඌව පළාතේ එස්. ඒ. ලමාහේවා විසින් එහි ලෝකඩ පදක්කමත් දිනා ගන්නා ලදි.

තුන්පිම්ම ඉසව්වේ රන් පදක්කම බස්නාහිර පළාතේ ඩී. දිලාක්ශි මොහොට්ටාල විසින් දිනාගනු ලැබුවේ මීටර 12.56ක දුරක් වාර්තා කරමිනි. එහි රීදී හා ලෝකඩ පදක්කම් පිළිවලින් සබරගමුව දිස්ත්‍රික්කයේ ඩී. එච්. ඩී. වීරසේකර (මීටර 12.49) ද, වයඹ පළාතේ කේ. ඒ. ටී. ලක්ෂානී (මීටර 12.04) විසින් ද දිනා ගනු ලැබීය.

ඉන්පසුව පැවති කවපෙත්ත විසිකිරීමේ අවසන් තරග ඉසව්වේදී මීටර 42.34ක දුරක් කවපෙත්ත විසිකිරීමෙන් ඉසෙඩ්. ටී. ආසික් විසින් රන් පදක්කම දිනා ගන්නා ලදි. එහි රිදී පදක්කම දකුණු පළාතේ කේ. එම්. එස්. නිරෝශන් (මීටර 41.77) විසින්ද, ලෝකඩ පදක්කම දකුණු පළාතේම ටී. ජී. ඩී. චතුරංග (මීටර 40.95) විසින් ද දිනා ගන්නා ලදි.

පිරිමි උස පැනීමේ අවසාන තරගය ඉන්පසුව ඇරඹි අතර එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මීටර 2.16ක උසක් තරණය කල දකුණු පළාතේ ඩබ්. පී. එම්. කුමාර විසිනි. එහි රිදී පදක්කම මීටර 2.04ක උසක් තරණය කල දකුණු පළාතේම බී. අයි. ආර්. යූ. කුමාර විසින් ලබා ගන්නා ලදි. එහි ලෝකඩ පදක්කම ඒ. කේ. පතිරණ (මීටර 2.04) දිනාගනු ලැබීය.

ඉන්පසුව ඇරඹියේ මීටර 400 කඩුලු පැන දිවීමේ කාන්තා සහ පිරිමි තරගයයි. එහි කාන්තා තරග වටයේදී වයඹ පළාතේ ඊ. පී. කේ. මධුශානී විසින් තත්පර 60.9ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම ද, එම පළාතේම ටී. ජී. එම්. ඩී. වික්‍රමසිංහ තත්පර 61.5ක කාලයක් වාර්තාකරමින් රිදී පදක්කමද, දකුණු පළාතේ ජී. ඒ. එස්. දුලානී විසින් තත්පර 61.6ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමද දිනාගනු ලැබීය.

පිරිමි මීටර 400 කඩුලු පැන දිවීමේ තරගය ඉන් පසුව ඇරඹි අතර කරට කර තරගයක් ලබා දෙමින් එහි රන් පදක්කම සබරගමුව පළාතේ ඒ. එල්. ඒ. අයි. රත්නසේන විසින් දිනා ගනු ලැබුවේ තත්පර 51.2ක කාලයක් වාර්තා කරමිනි.එහි රිදී පදක්කම ඌව පළාතේ එස්. එම්. ඒ. චතුරංග විසින් දිනා ගනු ලැබු අතර (තත්.51.3) ලෝකඩ පදක්කම නැගෙනහිර පළාතේ එස්. පී. ඒ. දර්ශන (තත්.53.5) විසින් දිනාගනු ලැබීය.

ඉන් අනතුරුව ඇරඹි මීටර 200 කාන්තා හා පිරිමි අවසාන තරගයේ කරට කර තරගයක් පිරිමි හා කාන්තා දෙපාර්ශවයේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පිළිඹිඹු විය. එහි කාන්තා තරග වටයේ රන් පදක්කම බස්නාහිර පළාතේ එම්. ඒ. ශාමිලා ජයතිලක විසින් මිනිත්තු 24.8ක කාලයක් වාර්තාකරමින් රන් පදක්කම දිනා ගනු ලැබීය. එම තරගයේ රිදී හා ලෝකඩ පදක්කම් පිළිවෙලින් උතුරු මැද පළාතේ එම්. එච්. එන්.හේරත් (තත් 25.1) විසින් ද, ඌව පළාතේ එස්. ඇල්. විදානදුරුගේ (තත්.25.2) විසින් ලෝකඩ පදක්කමද දිනා ගන්නා ලදි.

පිරිමි මීටර 200 තරගයේ රන් පදක්කම දකුණු පළාතේ කේ. එස්. එල්. වික්‍රමසිංහ විසින් තත්පර 21.8ක කාලයක් වාර්තා කරමින් ලබාගනිද්දී, නැගෙනහිර පළාතේ ඒ. ආර්. එම් රාජස්කාන් තත්පර 21.9ක කාලයකදී රිදී පදක්කම දිනා ගනු ලැබීය. එහි ලෝකඩ පදක්කම සබරගමු පළාතේ එම්. පී. එච්. එල්. මිනිමුතු විසින් ලබා ගත්තේ තත්පර 22.0ක  කාලයක් වාර්තා කරමින්.

හෙට තරගාවලියේ දෙවන දිනය යි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට