​මෙසී ආර්ජන්ටිනා ගෞරවය රකිද්දී කොලොම්බියාව අවසන් 8ට

1128

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තවත් වැදගත් තරග දෙකක් අද (20) පැවැත්වුණා. කෝඩුකාර කටාර් කණ්ඩායම හා ප්‍රබල කොලොම්බියාව පළමු තරගයේ දී තරග වැදුණු අතර දෙවන තරගයේ ක්‍රීඩා කළේ ජයග්‍රහණයක් අවශ්‍යම වූ ආර්ජන්ටිනාව හා පැරගුවේ කණ්ඩායමයි.

Guerrero පේරු කණ්ඩායම දිනවද්දී VAR බ්‍රසීල ගෝල තුනක් වතුරේ යවයි

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ……..

කොලොම්බියාව හා කටාර්

Duvan Zapata තරගයේ අවසාන භාගයේ වාර්තා කළ ගෝලයත් සමඟ කොලොම්බියාව ගෝල 1-0ක් ලෙස කටාර් කණ්ඩායම පරාජය කළ අතර ඒ අනුව ඔවුන් එළඹෙන සතියේ බදාදා පැවැත්වෙන 2019 කෝපා ඇමරිකා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සිය අසුන වෙන් කර ගත්තා.

B කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ දී කටාර් කණ්ඩායම ඉතා සංවිධානාත්මක ලෙස කොලොම්බියාව නොසිතු අභියෝගයක් එල්ල කිරීම විශේෂත්වයක්.

Falcao කොලොම්බියාව වෙනුවෙන් අද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ අතර ප්‍රබල ක්‍රීඩක James Rodriguez ද තරගයට එතරම් බලපෑමක් එල්ල කරන්නට සමත් වූයේ නැහැ. කෙසේ වෙතත් තරගයේ වාර්තා වූ එකම ගෝලය වෙනුවෙන් Zapataට අනගි දායකත්වයක් ලබා දෙන්නට සුපිරි ක්‍රීඩක Rodriguez සමත් වුනා.  

Rodriguez විසින් යොමු කළ පන්දුව දක්ෂ ලෙස Zapata විසින් සිය හිසෙන් ගෝල රාමුව තුලට එල්ල කළේ කොලොම්බියාවේ ප්‍රසාද ලකුණු ගණන හය දක්වා ඉහළ දමමින්. කටාර් රාජ්‍යය හිමි කර ගෙන සිටින්නේ එක් ප්‍රසාද ලකුණක් පමණයි.

තරගය ආරම්භයත් සමඟ හයවැනි මිනිත්තුවේ දී යෙරී මීනා විසින් පන්දුව සිය හිසෙන් දැල වෙත යොමු කළත් විනිසුරු රොජර් මාර්ටිනේස්ට එරෙහිව Off Side තීරණයක් ලබා දීම නිසා එම අවස්ථාව ඔවුන්ගේ අතින් ගිලිහි ගියේය.  

කෙසේ වෙතත් ඔවුන්ට 13 වැනි මිනිත්තුවේ දී අගනා අවස්ථාවක් හිමි වූ අතර James නිසි ලෙස පන්දුව ඉලක්ක කළේ නැත. එම අවස්ථාව තරගයේ ආසන්නතම අවස්ථාව වන්නේ Martinezගේ අලංකාර පන්දු යොමු කිරීම ලබා ගත් Jamesට බාධා කිරීමට කිසිදු ප්‍රතිවාදියෙකු නොසිටි හෙයිනි.

කොලොම්බියාව පළමු අර්ධය පුරාවට 68% කාලයක් තමන් සතුවම පන්දුව තබාගෙන ක්‍රීඩා කළ නමුත් ඔවුන් සංවිධානාත්මක කටාර් ආරක්ෂක වළල්ල බිඳ දැමීමට සමත් වූයේ නැත.

Juan Cuadradoගේ දිගු දුර ප්‍රහාරයක් කටාර් ගෝල රකින ක්‍රීඩක Saad Al Sheeb පහසුවෙන් රැක ගත් අතර ස්ටෙෆාන් මෙඩිනාගේ ප්‍රහාරයක් අවාසනාවන්ත ලෙස නතර වූයේ පැති දැලේ වැදී ඉවත යාමෙන්ය.

පළමු අර්ධය: කොලොම්බියාව 00 – 00 කටාර්

දෙවන අර්ධය ආරම්භයත් සමඟ කොලොම්බියානු ප්‍රේක්ෂකයින් ප්‍රීතියට පත් කරමින් විනිසුරු ඔවුන්ට දඬුවම් පහරක් ලබා දුන්නේ Abdulaziz Hatem පන්දුව අතින් ස්පර්ශ කළ බව පවසමින්. කෙසේ වෙතත් VAR තාක්ෂණය භාවිතා කරමින් එම අවස්ථාව නිෂ්ප්‍රභා කිරීමට තීරණය කරන ලදි.

කොලොම්බියාව කලින් පුහුණු වූ ක්‍රීඩා විලාසයන් භාවිතා කරමින් කටාර් අර්ධය දිගින් දිගටම ආක්‍රමණය කළ අතර මීනාගේ තවත් හිසෙන් පන්දු ප්‍රහාරයක් 56 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුවෙන් ඉවත ගියේය.

©AFP

60 වැනි මිනිත්තුව ආසන්නයේ දී කොලොම්බියාව තවත් අලංකාර අවස්ථාවක් නිර්මාණය කර ගත්තේ Jamesගේ පන්දු යොමු කිරීමක් උපයෝගී කර ගෙන. Martinez ඔහුගෙන් පන්දුව ලබා ගෙන අලංකාර පාද චලනයක් ඔස්සේ කටාර් ආරක්ෂක වළල්ල බිඳ දැමූ නමුත් ඔහු ගෝල රකින්නා පසු කර යන්නට සමත් වූයේ නැහැ.

කටාර් කණ්ඩායම තරගයේ අවසාන භාගයේ දී ආක්‍රමණ කිහිපයක් ක්‍රියාත්මක කළ අතර කොලොම්බියා ගෝල රකින ක්‍රීඩක David Ospina දෙවතාවක් ඒවා නතර කරද්දී Martinezගේ අලංකාර ප්‍රහාරයක් කටාර් ගෝල රකින්නා ද ව්‍යර්ථ කරන්නට සමත් විය.

කෙසේ වෙතත් මිනිත්තු 86ක් රැකගෙන සිටි කටාර් ආරක්ෂක බලය Zapata බිඳ දැමූ අතර ඒ James ඉහළින් එවූ පන්දුව අලංකාර ලෙස දැල් ගත කරමින්.

අවසන් ලකුණු තත්වය: කොලොම්බියාව 01 – 00 කටාර්

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • කොලොම්බියාව – Duvan Zapata (86′)

වත්මන් ශූරයෝ ගෝල හතරකින් වැඩ අල්ලයි

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තවත් ……..


ආර්ජන්ටිනාව හා පැරගුවේ

ජයග්‍රහණයක් අවශ්‍යම වූ ආර්ජන්ටිනා කණ්ඩායමට සිදු වූයේ ගෝල 1-1ක් ලෙස පැරගුවේ කණ්ඩායම හා ජය පරාජය සමව බෙදා ගැනීමටයි.

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී දෙවන අර්ධයේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ආර්ජන්ටිනා ගෞරවය ආරක්ෂා කිරීමට සමත් වුනත්, පළමු තරගයත් පරාජය වී සිටින ආර්ජන්ටිනාවට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම ඉතා අපහසු වී තිබේ. ඔවුන් මේ වන විට සිටින්නේ B කාණ්ඩයේ අවසන් ස්ථානයේයි.

Belo Horizonte හිදී පැවැත්වුණු තරගයේ දී පැරගුවේ ක්‍රීඩක Richard Sanchez පළමු ගෝලය වාර්තා කළ අතර 57 වැනි මිනිත්තුවේ දී මෙසී දඬුවම් පහරකින් තරගයේ ගෝල සම කළේ ආර්ජන්ටිනාවේ ගෞරවය ආරක්ෂා කරමින්.

©AFP

ආර්ජන්ටිනා ගෝල රකින ක්‍රීඩක Franco Armani 60 වැනි මිනිත්තුවේ දී පැරගුවේ ක්‍රීඩක Derlis Gonzalez ලබා ගත් දඬුවම් පහරක් ද ව්‍යර්ථ කළේ තරගයේ ගෝල සම සමව පවත්වා ගනිමින්.

ආර්ජන්ටිනා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් පළමු මිනිත්තු 20 පුරා තරගයේ කිසිදු රිද්මයක් පැවතුණේ නැත.

පළමු මිනිත්තු තිහ තුළ වාර්තා වූ ආසන්නතම අවස්ථාවට හිමිකම් කියන්නට සමත් වූයේ පැරගුවේ කණ්ඩායමයි. Gonzalezගේ ප්‍රබල ප්‍රහාරයක් අවාසනාවන්ත ලෙස ගෝල රාමුවේ වැදී ඉවත ගියේය.

34 වැනි මිනිත්තුවේ දී ආර්ජන්ටිනාව වෙනුවෙන් මෙසීට අවස්ථාවක් හිමි වුණු නමුත් යාර 30ක් පමණ දුර සිට ඔහු එල්ල කළ නිදහස් පහරට ගෝල රකින්නා, Roberto Fernandez පසු කර යාමේ බලය තිබුණේ නැත.

පැරගුවේ පළමු අර්ධය අවසන් වීමට පෙර තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ Sanchezගේ පළමු ජාත්‍යන්තර ගෝලයේ පිහිටෙන්.

නිව්කාසල් යුනයිටඩ් ක්‍රීඩක Miguel Almiron අලංකාර ධාවනයකින් පසු හරස් පන්දු යොමු කිරීමකින් පන්දුව Sanchez වෙත යොමු කළ අතර වේගවත් ප්‍රහාරයකින් පන්දුව ගෝල රාමුවේ පහළ කෙළවරින් දැල් ගත කරන්නට ඔහු සමත් විය.

පළමු අර්ධය: ආර්ජන්ටිනාව 00 – 01 පැරගුවේ

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු හයකට පසු ආර්ජන්ටිනාවේ Lautaro Martinezගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය අතර Sergio Aguero පිටියට පැමිණීමෙන් අනතුරුව ආර්ජන්ටිනාව ගෝල සම කරන්නට ප්‍රබල ලෙස උත්සහ කරනු දක්නට ලැබුණි.

©AFP

Martinezගේ ප්‍රහාරයක් පැරගුවේ ක්‍රීඩක Ivan Piris අතෙහි ස්පර්ශ වීම නිසා අර්ජන්ටිනාවට දඬුවම් පහරක් ලැබුණේ VAR පිහිටෙන්.

56 වැනි මිනිත්තුවේ දී මෙසී එම දඬුවම් පහර ලබා ගත් අතර ඉතා පහසුවෙන් සිය 68 වැනි ජාත්‍යන්තර ගෝලය වාර්තා කරන්නට මෙසී සමත් විය.

කෙසේ වෙතත් ආර්ජන්ටිනා ක්‍රීඩක Nicolas Otamendiගේ බාධා කිරීමක් නිසා විනිසුරු පැරගුවේ කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් අතර ගෝල රකින ක්‍රීඩක Armani සුපිරි පිම්මකින් ආර්ජන්ටිනාව තවත් පරාජයකින් ගලවා ගන්නට සමත් විය.

අනතුරුව ගත වූ මිනිත්තු කිහිපය තුල ආර්ජන්ටිනා හෝ පැරගුවේ කණ්ඩායම් කිසිදු අවස්ථාවක් නිර්මාණය කරගන්නට සමත් නොවූ අතර ආර්ජන්ටිනාවට සිදු වූයේ නොසිතූ විරූ ලෙස 2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමේ තර්ජනයට මුහුණ දීමටය.

අවසන් ලකුණු තත්වය: ආර්ජන්ටිනාව 1 – 1 පැරගුවේ

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ආර්ජන්ටිනාව – ලයනල් මෙසී (57′)
  • පැරගුවේ – Richard Sanchez (37′)  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<