90 වැනි සුලෝහිත සංග්‍රාමයට කලින් මේ ටික දැනගෙන ඉන්න

216

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙකක් වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාර්තු මස 2 සහ 3 කොළඹ SSC ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

දොස්තර එන්. එම්. පෙරේරා අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ 90 වැනි වරට ය.

සුලෝහිත සංග්‍රාමයේ 90 වැනි අදියර ලබන මස මුලදී

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර ආචාර්ය එන්. එම්. පෙරේරා අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය…

සුලෝහිත සංග්‍රාම තරග ඉතිහාසයේ නිමා වූ තරග 89න් තරග 12ක ජයග්‍රහණය ආනන්ද විද්‍යාලය සතු කර ගෙන තිබෙන අතර නාලන්දා විද්‍යාලය ජයග්‍රහණ 6ක් ලබා ඇත. සෙසු තරග 71 ජය පරාජයෙන් තොරව අවසන් ඇත. ආනන්ද විද්‍යාලය අවසන් වරට 2003 වසරේ දී දමින්ද කුලරත්නගේ නායකත්වය යටතේ ජයග්‍රහණය කර ඇති අතර නාලන්දා විද්‍යාලය 1953 වසරේ දී ඩබ්ලිව්. ඩබ්ලිව්. සිල්වාගේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණය අවසන් ජයග්‍රහණය ලෙසින් ඉතිහාස පොත් සාක්ෂි දරයි.

දශක එකහමාරක ජයග්‍රහණයේ උණුසුම නොලැබූ දෙවිදුහල් හී ක්‍රීඩකයෝ මෙවර තරගයේ දී තම කණ්ඩායම කෙරෙහි වඩාත් බලාපොරොත්තු සහගතව පිටියට පිවිසෙනු නියතය. නමුත් නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ප්‍රතිඵල අනුව ආනන්ද විද්‍යාලය අභිබවමින් නාලන්දා විද්‍යාලය ඉදිරියෙන් සිටින අයුරු දක්නට ලැබේ.

ආනන්ද විද්‍යාලය මෙවර කමේෂ් නිර්මාල්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන අතර නාලන්දා විද්‍යාලය ලක්ෂිත මනසිංහගේ නායකත්වය යටතේ පිටියට පිවිසෙනු ඇත.

ආනන්ද විද්‍යාලය

ආනන්ද විද්‍යාලය මෙවර සුලෝහිත සංග්‍රාමයට සහභාගී වෙන්නේ පාසල් ක්‍රිකට් තරග වාරයේ තරග 18කට සහභාගී වෙමින් කිසිදු තරගයක ජයග්‍රහණයක් ලබා නොගනිමිනි. ඔවුන්ට යම් හෝ අස්වැසීමකට ඇත්තේ පළමු ඉනිමේ ලත් ජයග්‍රහණ 4ක් පමණි.

එවන් තත්ත්වයත් යටතේ ආනන්ද විද්‍යාලයීය නායක කමේෂ් නිර්මාල් කණ්ඩායමේ වැඩි වගකීමක් දරණ ක්‍රීඩකයා බවට පත්ව තිබේ. ඔහු නිමා වූ මෙම පාසල් ක්‍රිකට් තරගවාරයේ දී ලකුණු 1025ක් ලබා ගනිමින් මෙවර සුලෝහිත සංග්‍රාමයට සහභාගී වේ. කණ්ඩායමේ එකම ශතකලාභියා ද වන කමේෂ් නිමා වූ තරග වසරේ දී ශතක දෙකක් සහ අර්ධ ශතක 7ක් ලබා ගෙන ඇත. කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන ඔහු දවා ගැනීම් 29කට දායකත්වය දක්වා ඇත.

කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් අතරින් පිතිකරුවන් ලෙසින් වැඩි දක්ෂතා දක්වා ඇත්තේ කනිෂ්ක රන්තිලකගේ සහ කළණ විජේසිරි ය. වමත් පිතිකරු කනිෂ්ක රන්තිලකගේ අර්ධ ශතක 7ක් සමඟින් ලකුණු 802ක් ලබා ගනිමින් ආනන්දීයයන්ගේ විශ්වාසය දිනා සිටී.  කළණ විජේසිරි ලබා ඇති ලකුණු සංඛ්‍යාව 672කි.

ඊට අමතරව ආනන්ද කණ්ඩායමේ පිතිකරු අංශය පෝෂණය කරන්නන් අතරින් වඩාත් කතාබහට ලක්වෙන්නේ දමින්ද රෙෂාන්, මෝදිත රණතුංග සහ ජනිඳු ජයවර්ධන ය. ඔවුන් නිමා වූ තරගවාරයේ දී ලකුණු 500කට ආසන්න වෙමින් මෙකී විශ්වාසය දිනා සිටී. එමෙන්ම සුදීප අඟුලුගහ සහ කවිඳු ගිම්හාන ද ආනන්දයන් සතු දක්ෂ පිතිකරුවෝ ය.

ආනන්දයන් සතු පන්දු යවන්නන් අතුරින් වඩාත් දක්ෂතා දක්වා ඇත්තේ දකුණතින් පා දඟපන්දු යවන ජනිඳු ජයවර්ධන ය. ඔහු නිමා වූ පාසල් තරගවාරයේ දී කඩුලු 41ක් ලබා ඇත. ඔහුට අමතරව දකුණතින් පිට දඟපන්දු යවන සවිරු බණ්ඩාර ද කඩුලු 32ක් දවා ගනිමින් කණ්ඩායම වෙනුවෙන් විශ්වාසය දිනා ඇත.

කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් සංජීව රණතුංග මහතා කටයුතු කරන අතර ලක්ෂාන් හේවගේ මහතා සහාය පුහුණුකරු ලෙසින් කටයුතු කරයි.  කණ්ඩායම් භාර නිලධාරි ලෙසින් ජයසංක උනන්තැන්න මහතා කටයුතු කරයි.

ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම;

කමේෂ් නිර්මාල් (නායක), චාමික ගුණසේකර (උප නායක), කනිෂ්ක රන්තිලකගේ, කළණ විජේසිරි, කවිඳු ගිම්හාන, දමින්ද රෙෂාන්, මෝදිත රණතුංග, සුදීප අඟුලුගහ, ලක්ෂිත අමරසේකර, ජනිඳු ජයවර්ධන, විනුජ විජේබණ්ඩාර, අදීශ පෙරේරා, දෙනෙත් නිස්සංක, සවිරු බණ්ඩාර, නදීශ කරුණාරත්න, දසුන් තාරුක, මහෝෂධ ප්‍රනාන්දු, රවිඳු සසංක

නාලන්දා විද්‍යාලය

කොළඹ නාලන්දා විද්‍යාලය මෙවර තරගාවලියට සහභාගී වෙන්නේ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී සම්පූර්ණ ජයග්‍රහණ 6ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 7ක් ලබා ගනිමිනි. ඔවුන් කොළඹ, වෙස්ලි, කඳාන ද මැසනඩ්, පන්නිපිටිය ධර්මපාල, කෝට්ටේ ජනාධිපති, අම්බලන්ගොඩ ධර්මාශෝක සහ කොළඹ ලුම්බිණි යන විද්‍යාලවලට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණ ලබා ඇත.

ඔවුන්ගේ තරග ලැයිස්තුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙතින් ලත් සම්පූර්ණ පරාජයක් සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය වෙතින් ලත් පළමු ඉනිමේ පරාජයන් දෙක ද පවති.

කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත ම පිතිකරු වී ඇත්තේ කණ්ඩායමේ නායක ලක්ෂිත මනසිංහ ය. ඔහු ශතක 5ක් සහ අර්ධ ශතක 4ක් සමඟින් නිමා වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු 1117ක් ලබා ඇත. ඔහුට අමතරව අවිශ්ක පෙරේරා ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 767ක් ලබා ගෙන කණ්ඩායමේ විශ්වාසය දිනා සිටී.

රනිඳු ද සිල්වා, චමිඳු විජේසිංහ, දිල්හාර පොල්ගම්පොළ සහ රවීන් ද සිල්වා ද ලකුණු 400 පසු කරමින් කණ්ඩායමේ විශ්වාසය දිනා සිටී. මහීම වීරසිංහ සහ මෝක්ෂ සංකල්ප ද අවශ්‍ය අවස්ථාවක ප්‍රයෝජනයට ගත හැකි පිතිකරුවන් සේ වර්ගීකරණයට ලක් ව ඇත.

පන්දු යවන්නන් අතුරින් පෙරමුණේ පසු වෙන්නේ ලක්ෂිත රසාංජන ය. ඔහු නිමා වූ පාසල් තරග වාරයේ කඩුලු 70ක් ලබා සිටී. ඔහුට අමතරව කවීෂ මධුරප්පෙරුම කඩුලු 60ක් ලබා ගනිමින් ද චමිඳු විජේසිංහ කඩුලු 42ක් ලබා ගනිමින් ද කණ්ඩායමේ විශ්වාසවන්ත පන්දු යවන්නන් ලෙසින් වර්ගීකරණයට ලක්ව ඇත.  

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් ශානුක දිසානායක මහතා කටයුතු කරන අතර  සහාය පුහුණුකරු ලෙස රුවන් දිසානායක මහතා කටයුතු කරයි. කණ්ඩායම් භාර නිලධාරි ලෙසින් කටයුතු කරන්නේ සමන් හෙට්ටිආරච්චි මහතා ය.

නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම;

ලක්ෂිත මනසිංහ (නායක) මහීම වීරකෝන්, චමිඳු විජේසිංහ, රනිඳු ද සිල්වා, දිනෙත් සමරවීර, චමෝද්‍ය හංසක, රවීන් ද සිල්වා, ජිතේත් වාසල, අවිශ්ක පෙරේරා, ජයෝද් කල්දේරා, කවීශ් තරුෂ, අනූද ජිත්වර, තමිඳු කමලසූරිය, ලක්ෂාන් මායාදුන්න, දිල්හාර පොල්ගම්පොළ, මෝක්ෂ සංකල්ප

සුලෝහිත සංග්‍රාම ඉතිහාසයෙන්….

  • කණ්ඩායමක් ලැබූ වැඩිම ලකුණ‍
ලකුණු වර්ෂය පාසල
329/10 2006 ආනන්ද
298/5 2013 නාලන්දා
  • කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු
ලකුණු වර්ෂය පාසල
48 1939 නාලන්දා
54 1963 ආනන්ද

Video – “ජයග්‍රහණයට වඩා සහෝදරත්වයෙන් ක්‍රීඩා කිරීම තමා වටින්නේ” – කමේෂ් නිර්මාල්

90 වැනි සුලෝහිත සංග්‍රාමය සඳහා වූ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පෙබරවාරි මස 26 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී පැවැත්විය. ආනන්ද විදුහලේ නායකයා වන…

  • ඉනිමක වැඩිම ලකුණු ලැබූ පිතිකරුවෝ
ලකුණු පිතිකරු වර්ෂය පාසල
149* ශාන්ත කලවිටිගොඩ 1997 නාලන්දා
144 තිළිණ කණ්ඩම්බි 1999 ආනන්ද
  • තරගයක වැඩිම ලකුණු ලැබූ පිතිකරුවෝ
ලකුණු පිතිකරු වර්ෂය පාසල
171 තිළිණ කණ්ඩම්බි 1999 ආනන්ද
151 චන්ද්‍රසිරි වීරසිංහ 1956 නාලන්දා
  • තරග වර්ෂවල වැඩිම ලකුණු ලැබූ පිතිකරුවෝ
ලකුණු පිතිකරු කාලය පාසල
444 චන්ද්‍රසිරි වීරසිංහ 1952-57 නාලන්දා
328 අවිශ්ක ගුණවර්ධන 1992-96 ආනන්ද
  • ලකුණු 99ට දැවී ගිය පිතිකරුවෝ
පිතිකරු වර්ෂය පාසල
අනුර ද සිල්වා 1966 නාලන්දා
මනුජ කාරියප්පෙරුම 1984 ආනන්ද
  • ඉනිමක හොඳම පන්දු යැවීම
දක්ෂතාව පන්දු යවන්නා වර්ෂය පාසල
8/32 යොහාන් ගුණසේකර 1976 නාලන්දා
8/51 පී. ඩබ්ලිව්. පෙරේරා 1940 ආනන්ද
  • තරගයක හොඳම පන්දු යැවීම
දක්ෂතාව පන්දු යවන්නා වර්ෂය පාසල
14/67 අනුර රණසිංහ 1974 නාලන්දා
10/36 පී. ඩබ්ලිව්. ද සිල්වා 1930 ආනන්ද
  • තරග වර්ෂවල වැඩිම කඩුලු ලැබූවෝ
කඩුලු පන්දු යවන්නා කාලය පාසල
24 ඩබ්ලිව්. ජේ. ජයසූරිය 1949-53 නාලන්දා
21 ලලිත් ගුණරත්න 1963-67 ආනන්ද
21 ප්‍රියාල් පෙරේරා 1973-77 ආනන්ද

90 වැනි සුලෝහිත සංග්‍රාමයේ තරග වාර්තා, ඡායාරූප ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටින අතර තරගයේ සෑම මොහොතක්ම සජීව ලෙස ඔබට සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.

>> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<