Guerrero පේරු කණ්ඩායම දිනවද්දී VAR බ්‍රසීල ගෝල තුනක් වතුරේ යවයි

385

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරග ද්විත්වයක් අද (19) පැවැත්වුණා. බොලිවියාව හා පේරු කණ්ඩායම් පළමු තරගයට සහභාගී වූ අතර ප්‍රබල බ්‍රසීලය හා වෙනිසියුලාව දෙවන තරගයට සහභාගී වුනා.

වත්මන් ශූරයෝ ගෝල හතරකින් වැඩ අල්ලයි

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ………..

බොලිවියාව හා පේරු

කණ්ඩායම් දෙකටම මෙම තරගය ඉතා වැදගත් වුනේ කණ්ඩායම් දෙකම ජයග්‍රහණයක් සොයමින් සිටි නිසයි. පේරු කණ්ඩායමේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර බ්‍රසීලය සමඟ තරග කළ බොලිවියාවට සිදු වූයේ සිය පළමු තරගයේ දී අන්ත පරාජයක් අත් විඳීමටයි.

Paolo Guerreroගේ සුපිරි දක්ෂතා නිසා පේරු කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු ජයග්‍රහණය හිමි වූ අතර සුප්‍රසිද්ධ මරකානා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගය පේරු කණ්ඩායම බොලිවියාව හඹා ගොස් ගෝල 3-1ක් ලෙස ජය ගැනීම විශේෂත්වයක්.

තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වූයේ බොලිවියාවයි. ඒ Martins සාර්ථක කර ගත් දඬුවම් පහරක් සමඟයි. ඔවුන් හඹා ආ පේරු කණ්ඩායම සිය පළමු ගෝලය රැස් කළේ පළමු අර්ධය අවසන් වීමට මොහොතක් තිබිය දීයි.

පේරු පළමු ගෝලය වාර්තා කළ පේරු නායක Guerrero නැවත වරක් ක්‍රියාත්මක වී Jefferson Farfanගේ 55 වැනි මිනිත්තුවේ වාර්තා වූ ගෝලයට අනගි සහයක් ලබා දුන් අතර අතිරේක ක්‍රීඩක Edison Flores 90+6 වැනි මිනිත්තුවේ තුන්වැනි පේරු ගෝලය වාර්තා කළේ බොලිවියානු ආරක්ෂක වළල්ල සුනුවිසුනු කරමින්.

පේරු කණ්ඩායම තරගයේ පළමු අර්ධය පුරා පන්දුව තමන් සතුවම තබාගෙන ක්‍රීඩා කරන්නට උත්සහ කළත් ඔවුන්ට ආසන්න අවස්ථා කිසිවක් ගොඩ නගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් බොලිවියානු කණ්ඩායම පේරු කණ්ඩායමට ප්‍රථමයෙන් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ රැස්ව සිටි ප්‍රේක්ෂකයින් ද මවිත කරමින්.

24 වැනි මිනිත්තුවේ දී පේරු ක්‍රීඩක Carlos Zambrano පන්දුව අතින් හැසිර වූ බවට විනිසුරු VAR අවස්ථාවකින් පසුව තීරණය කරන ලදි. මිනිත්තු කිහිපයක් ගත වූ එම තීරණයට පසුව ලැබුණු දඬුවම් පහර ඉතා සංසුන්ව සාර්ථක කර ගැනීමට Martins සමත් විය.

ගෝල රකින ක්‍රීඩක Pedro Gallese හට එම ගෝලය නැවැත්වීමට කිසිදු අවස්ථාවක් නොලැබුණු අතර Martins බොලිවියාව වෙනුවෙන් වැඩිම ගෝල ලාභින්ගේ වාර්තාවට තවත් ගෝල දෙකකින් ආසන්න වන්නට සමත් විය.

පේරු පළමු අර්ධය අවසන් වීමට පෙර සිය පළමු ගෝලය වාර්තා කළ අතර Christian Cuevaගේ දීර්ඝ පන්දු යොමු කිරීමක් ලබා ගත් Guerrero ගෝල රකින ක්‍රීඩක Carlos Lampe අලංකාර පැති පියවර දෙකකින් නොමඟ යවමින් කිසිවෙකු ආරක්ෂා කරන්නට නොසිටි දැල වෙත පන්දුව යොමු කරන්නට සමත් විය.

පළමු අර්ධය: පේරු 01 – 00 බොලිවියාව

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 10ක් ගත වන විට දී නැවතත් ක්‍රියාත්මක වූ Guerrero සහ Farfan අලංකාර හරස් පන්දු යොමු කිරීමක් සිදු කළ අතර Farfan බොලිවියානු ආරක්ෂකයින් මැඩ සිය හිසෙන් පන්දුව දැල වෙත යොමු කරන්නට සමත් විය.   

කෝපා ඇමරිකා තරගාවලිය අරඹමින් බ්‍රසීලයට සුපිරි ජයක්

ජාත්‍යන්තර පාපන්දු කරළිය නැවතත් උණුසුම් ………….

බොලිවියාව නැවත තරගයට පිවිසීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබුනත් Raul Castro දැල අසලම සිට එල්ල කළ ප්‍රබල ප්‍රහාරය පේරු ක්‍රීඩකයෙකුගේ වැදී ඉවත ගියේය. කෙසේ වෙතත් 96 වැනි මිනිත්තුවේ දී බොලිවියානු ආරක්ෂකයින් පසු කර ගිය Flores සිය කණ්ඩායම වෙනුවෙන් තෙවැනි ගෝලයත් වාර්තා කළේ බොලිවියාවට දෙවන අමිහිරි පරාජයක් හිමි කර දෙමින්.  

අවසන් ලකුණු තත්වය: බොලිවියාව 01 – 03 පේරු

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • බොලිවියාව – Martins (24′)
  • පේරු – Guerrero (45′), Jefferson Farfan (55′), Edison Flores (90+6′)

බ්‍රසීලය හා වෙනිසියුලාව

කිසිවෙකු නොසිතු ලෙස සත්කාරක බ්‍රසීලයට සිදු වූයේ ගෝල රහිතව වෙනිසියුලාව සමඟ ජය පරාජය බෙදා ගැනීමටයි. බ්‍රසීලයට හිමි වුණු අවස්ථා දෙකක් VAR තාක්ෂණය නිසා ව්‍යර්ථ වූ අතර ප්‍රේක්ෂකයින්ගේ දැඩි අකැමැත්ත මධ්‍යයේ තරගය අවසන් වූයේ ගෝල 00-00ක් ලෙසයි.

පළමු අර්ධයේ දී foul අවස්ථාවක් ලෙස සඳහන් කරමින් Roberto Firminoගේ ගෝලයක් නිෂ්ප්‍රභා වුණු අතර Gabriel Jesusගේ ප්‍රබල ප්‍රහාරයක් හා Philippe Coutinho අවසන් මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් Off Side ලෙස සඳහන් කරමින් විනිසුරු විසින් VAR ඔස්සේ නිෂ්ප්‍රභා කරන ලදි.    

ඒ අනුව බ්‍රසීලයට පහසුවෙන් දෙවන වටයට යාමට තිබුණු අවස්ථාව ගිලිහි ගියේය.

බ්‍රසීල කණ්ඩායම බොලිවියාවට එරෙහි තරගයේ දී ද පළමු අර්ධයේ ගෝල වාර්තා කිරීමට අසමත් වූ අතර මේ තරගයට ඔවුන් පිවිසුණේ පළමු මිනිත්තුවේ සිටම ගෝල පිපාසයෙන් පෙළෙමිනි. බ්‍රසීල කණ්ඩායම පළපුරුදු ක්‍රීඩක Fernandinho වෙනුවට Arthur කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.  

වෙනිසියුලා කණ්ඩායම පළමු මිනිත්තුවේ සිටම බ්‍රසීලයට පහසුවෙන් පන්දුව ලබා ගැනීමට ඉඩ ලබා දුන් අතර Richarlisonගේ ප්‍රබල ප්‍රහාරයක් Wuilker Farinez අලංකාර ලෙස නැවැත්වූයේ වෙනිසියුලාවට සැනසුම් සුසුම් ගෙනෙමින්.  

වෙනිසියුලාව ද ක්‍රමයෙන් තරගයට පිවිසුණු අතර Salomon Rondon 19 වැනි මිනිත්තුවේ දී සිදු කළ උත්සහයක් නූලෙන් ගෝල කණු මඟ හැර ඉවත ගියේය.

පළමු අර්ධය නිමා වීමට මිනිත්තු හයක් තිබිය දී සුපිරි බ්‍රසීල ක්‍රීඩක Firmino දක්ෂ ලෙස පන්දුව දැල තුළට යොමු කරන්නට සමත් වූ නමුත් Mikel Villanueva හට බ්‍රසීල ක්‍රීඩකයින් බාධා කළේ යැයි පවසමින් විනිසුරු VAR ඔස්සේ එම අලංකාර ගෝලය නිෂ්ප්‍රභා කරන ලදි.

පළමු අර්ධය: බ්‍රසීලය 00 – 00 වෙනිසියුලාව

Richarlison වෙනුවට මැන්චෙස්ටර් සිටි යොවුන් ක්‍රීඩක Jesus පිටියට පැමිණි අතර පැමිණි වහා බ්‍රසීල ක්‍රීඩා රටාවේ වෙනසක් කළ ඔහු 60 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුව අසල සිට එල්ල කළ ප්‍රහාරයකින් පන්දුව දැල්ගත කරන්නට සමත් සිය. විනිසුරු යළිත් VAR අවස්ථාව භාවිතයට ගත් අතර Firmino, off side ස්ථානයක සිටියේ යැයි පවසමින් විනිසුරු එම ගෝලයත් නිෂ්ප්‍රභා කරන ලදි.

මෙසී ප්‍රමුඛ ආර්ජෙන්ටිනාවට නැවතත් නොසිතූ පරාජයක්!

2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ …….

පිටිය පුරා ප්‍රේක්ෂකයින්ගේ හූ හඬ හා විරෝධය පැතිර යද්දී නැවතත් තරගය ආරම්භ වූ අතර බලාපොරොත්තු කඩ වූ බ්‍රසීලය පීඩනයට ලක් කරමින් මෙවර වෙනිසියුලාව ආක්‍රමණයේ යෙදෙන්නට විය.

කෙසේ වෙතත් තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී Coutinho ක්‍රියාත්මක වී දක්ෂ ලෙස නැවත වතාවක් පන්දුව දැල තුලට යොමු කළේ තරගයේ ජය තමන් සතු කරගැනීමේ අටියෙන්. දිනය පුරා VAR පිහිට පැතූ විනිසුරු එම ගෝලයත් නිෂ්ප්‍රභා කළේ රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම බ්‍රසීල ක්‍රීඩකයින්ගේ ද බලාපොරොත්තු තෙවරක්ම බිඳ දමමින්.

අවසන් ලකුණු තත්වය: බ්‍රසීලය 00 – 00 වෙනිසියුලාව

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<